.webp)

වසර 5කට අධික කාලයක් තිස්සේ පැවති දැඩි නීතිමය අරගලයකින් පසු, සුපිරි ගායන තරුවක් වන ශකීරා (Shakira) තමන්ට එරෙහිව එල්ල වී තිබූ බදු වංචා චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය (Audiencia Nacional) තීන්දු කර තිබේ.
මෙම ඓතිහාසික නඩු තීන්දුවත් සමග, ඇයගෙන් අයථා ලෙස අය කරගත් බදු මුදල් සහ ඊට අදාළ පොලිය ද ඇතුළුව යුරෝ මිලියන 55ත් 60ත් අතර මුදලක් (බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50කට අධික ප්‍රමාණයක්) නැවත ඇයට ගෙවන ලෙස අධිකරණය ස්පාඤ්ඤ මහා භාණ්ඩාගාරයට නියෝග කර ඇත.
මෙම මුළු නීතිමය ගැටලුවම නිර්මාණය වී තිබුණේ 2011 බදු වර්ෂය මුල් කරගනිමිනි. ස්පාඤ්ඤ බදු නීතියට අනුව යම් පුද්ගලයෙකු වසරක් තුළ දින 183කට වඩා එරට රැඳී සිටින්නේ නම්, ඔවුන් සිය ගෝලීය ආදායම සඳහා ස්පාඤ්ඤ රජයට බදු ගෙවීමට බැඳී සිටී.
කෙසේ වෙතත්, අධිකරණයේදී තහවුරු වී ඇත්තේ 2011 වසරේදී ශකීරා ස්පාඤ්ඤයේ රැඳී සිට ඇත්තේ දින 163ක් පමණක් බවයි. බදු බලධාරීන් විසින් ඇය දින 183 සීමාව පසුකළ බව ඔප්පු කිරීමට අපොහොසත් වී තිබේ.
එමෙන්ම, එවකට බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පිකේ (Gerard Piqué) සමග පැවති සබඳතාවය හේතුවෙන් ඇයගේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය ස්පාඤ්ඤය වූ බවට රජයේ නීතිඥයින් තර්ක කළද, අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය. පුද්ගලික සබඳතාවක් නීතිමය විවාහ බදු බැඳීමකට සමාන කළ නොහැකි බවත්, එම වකවානුවේ ඇයගේ ජාත්‍යන්තර සංගීත දිවියේ කටයුතු ස්පාඤ්ඤය කේන්ද්‍ර කරගෙන සිදු නොවූ බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.
තීන්දුවෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් ශකීරා සඳහන් කළේ, බදු බලධාරීන්ගේ නිසි ප්‍රමිතියකින් තොර ක්‍රියාකලාපය හේතුවෙන් වසර 8ක් තිස්සේ තමන් පීඩා විඳි බවත්, මෙම තීන්දුව මගින් අවසානයේ සත්‍යය ජයගත් බවත්ය.
කෙසේ වෙතත්, මෙම තීන්දුව 2011 වසරට පමණක් අදාළ වන අතර, 2012-2014 කාලසීමාව සඳහා පැනනැඟුණු වෙනත් බදු ආරවුලක් වෙනුවෙන් ඇය 2023 වසරේදී යුරෝ මිලියන 14.5ක දඩ මුදලක් ගෙවීමට එකඟ වී තිබුණි. ස්පාඤ්ඤ බදු ආයතනය මෙම නව තීන්දුවට එරෙහිව නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.
