ප්‍රශාන්ත් කිෂෝර්ගේ ඓතිහාසික ජයග්‍රහණය

දශක තුනක BJP බලකොටුව බිඳ දැමූ ප්‍රශාන්ත් කිෂෝර්ගේ ඓතිහාසික ජයග්‍රහණය ඉන්දියානු දේශපාලනයේ හැරවුම් ලක්ෂයක්ද?

by Staff writer 04-08-2026 | 8:14 PM

COLOMBO(News1st) - දශක තුනක BJP බලකොටුව බිඳ දැමූ ප්‍රශාන්ත් කිෂෝර්ගේ ඓතිහාසික ජයග්‍රහණය ඉන්දියානු දේශපාලනයේ හැරවුම් ලක්ෂයක්ද?

ඉන්දියාවේ දේශපාලන දැවැන්තයින්ගේ ජයග්‍රහණ වෙනුවෙන් උපාය සැලසුම් කළ 'දේශපාලන රජුන් තනන්නා', තමන්ම බිම් මට්ටමේ සටනට බැස බීජේපී (BJP) පක්ෂයේ වසර 30ක බලකොටුව සුනුවිසුණු කර දමයි!"

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සහ ආන්දෝලනාත්මකම පෙරළියක් වාර්තා කරමින්, ප්‍රමුඛ පෙළේ දේශපාලන උපායමාර්ගිකයකු ලෙස කටයුතු කළ ප්‍රශාන්ත් කිෂෝර් (Prashant Kishor), බිහාර් ප්‍රාන්තයේ බැංකිපූර් (Bankipur) ප්‍රාන්ත අතුරු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. දශක තුනකට වැඩි කාලයක් BJP පක්ෂය විසින් අභියෝගයකින් තොරව රඳවාගෙන තිබූ මෙම ප්‍රධාන පෙළේ ආසනය අහිමි කරමින්, ඔහුගේ 'ජන් සුරාජ් පක්ෂය' (Jan Suraaj Party - JSP) ලැබූ මෙම මංගල ප්‍රාන්ත අතුරු මැතිවරණ ආසන ජයග්‍රහණය මේ වන විට ඉන්දීය දේශපාලනයේ මෙන්ම දකුණු ආසියාතික මාධ්‍ය පවා අවධානය දිනාගත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.

මැතිවරණ ප්‍රතිඵලය

ඉන්දීය මැතිවරණ කොමිෂන් සභා නිල දත්තවලට අනුව, තියුණු තරගයකින් අනතුරුව ප්‍රශාන්ත් කිෂෝර් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ප්‍රශාන්ත් කිෂෝර් (ජන් සුරාජ් පක්ෂය - JSP): ඡන්ද 64,151 

ක්

නීරාජ් කුමාර් (භාරතීය ජනතා පක්ෂය - BJP): ඡන්ද 44,827 ක්

ජයග්‍රාහී පරතරය: ඡන්ද 19,324 ක දැවැන්ත බහුතරයක්...

මෙහි විශේෂත්වය වන්නේ, මීට පෙර මෙම ආසනය නියෝජනය කළ BJP ජාතික සභාපති නිතින් නබීන් රාජ්‍ය සභාවට (ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට) පත්වීම හේතුවෙන් ඇබෑර්තු වූ මෙම ආසනය සඳහා පැවති මෙම අතුරු මැතිවරණය, ජන් සුරාජ් පක්ෂය ලැබූ ප්‍රථම ප්‍රාන්ත මැතිවරණ (ව්‍යවස්ථාදායක සභා) ආසන ජයග්‍රහණය වීමයි.

උපායමාර්ගිකයාගේ සිට මහජන නියෝජිතයා දක්වා: I-PAC හි නොකී මෙහෙයුම් ඉතිහාසය...

තම පක්ෂය වෙනුවෙන් සෘජුව දේශපාලන පොර පිටියට බැසීමට පෙර, ඉන්දියාවේ අග්‍රගණ්‍ය දේශපාලන උපදේශන ආයතනයක් වන I-PAC (Indian Political Action Committee) නිර්මාණය කරමින් ප්‍රශාන්ත් කිෂෝර් ඉන්දීය අගමැතිවරුන් සහ ප්‍රාන්ත මැතිවරණ රාශියක මුල්පෙළේ නායකයින් රැසක් බලයට පත් කිරීමට පිටුපස සිට ක්‍රියා කළ ප්‍රධානම සාධකය ප්‍රශාන්ත් කිෂෝර් විය.

නරේන්ද්‍ර මෝදි (2014 - BJP):
2012 ගුජරාට් මැතිවරණයේ සිට 2014 ඉන්දීය මහ මැතිවරණය දක්වා මෝදි වෙනුවෙන් "චායි පේ චර්චා" (Chai Pe Charcha), 3D රැලි සහ නවීන නව මාධ්‍ය සහ ඩිජිටල් උපායමාර්ග සැලසුම් කරමින් ජාතික මට්ටමේ දැවැන්ත රැල්ලක් නිර්මාණය කළේය.

නිතීෂ් කුමාර් (2015 - JDU): බිහාර් ප්‍රාන්තයේදී "නිතීෂ්  7 නිශ්චයි"('Saat Nischay') වැඩසටහන හරහා ගම්මාන ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ස්පර්ශ කරමින් නිතීෂ් කුමාර් යළි බලයට ගෙන ඒමට දායක විය.

ජගන් මෝහන් රෙඩ්ඩි (2019 - YSRKP): ආන්ද්‍ර ප්‍රදේශයේ 'ජගනන්න නවරත්නලු' ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා ඓතිහාසික හා අමතක නොවන ජයග්‍රහණයක් ලබා දීමට කටයුතු කළේය.

මමතා බැනර්ජි (2021 - TMC): බටහිර බෙංගාලයේ BJP හමුවේ තදබල අභියෝගයක් ජය ගනිමින් මමතා බැනර්ජි යළි බලයට ගෙන ඒමේ මහ මොළකරු විය.

ඩිජිටල් සහ බිම් මට්ටමේ ක්‍රමවේදය: ජයග්‍රහණය පසුපස ඇති රහස

මීට පෙර වෙනත් නායකයින්ට උපදෙස් ලබා දුන් PK (Prashant Kishor), මෙවර සාම්ප්‍රදායික දැවැන්ත දේශපාලන රැලිවලට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළේය.

නිහඬ පුද්ගලික සම්බන්ධතා (Relentless Personal Outreach):

මැතිවරණයට මාස කිහිපයකට පෙර සිටම බැංකිපූර්හි අතුරු මාර්ගවල පාගමනින් ගමන් කරමින්, සාමාන්‍ය ජනතාව සමඟ තේ කෝප්පයක් පානය කරමින් ඔවුන්ගේ දෛනික ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය.

මූලික ගැටලු මූලික කරගැනීම: 

මහා පරිමාණ පොරොන්දුවලට වඩා ජලය බැසයාමේ ක්‍රමවේද, කඩා වැටුණු මාවත්, රථවාහන තදබදය, අධ්‍යාපනය සහ රැකියා වැනි එදිනෙදා ජන ජීවිතයට සම්බන්ධ ප්‍රශ්න මුල් කරගනිමින් ඩිජිටල් සහ බිම් මට්ටමේ ව්‍යාපාර දියත් කළේය.

ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රශාන්ත් කිෂෝර් සඳහන් කළේ: 

"මගේ මෙම ජයග්‍රහණයෙන් "බැංකිපූර්" එක රැයින් වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඉදිරි මාස කිහිපය තුළ මෙහි සැබෑ සංවර්ධන වෙනසක් කිරීමට සහ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපි කැපවෙනවා."

මෙම අතුරු මැතිවරණ ප්‍රතිඵලය හරහා බිහාර් ප්‍රාන්තයේ පරණ දේශපාලන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඇති අතර, ඉදිරි ප්‍රාන්ත මැතිවරණ සඳහා ද මෙය ප්‍රබල පෙරනිමිත්තක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.