ගෝඨාභය ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභය ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.

by Staff writer 01-10-2026 | 9:41 PM

COLOMBO(News1st) - පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

විනිසුරු සරත් දිසානායකගේ එකඟත්වය ඇතිව නියෝගය ප්‍රකාශයට පත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විසින්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය පෙත්සම නිශ්ප්‍රභ කිරීමට හේතු පැහැදිලි කළේය.

උපුටා ගැනීම
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය

"අපරාධ යුක්ති ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විමර්ශන සිදුකිරීම අවශ්‍ය යි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නැහැ. එවැනි තත්ත්වයක් හමුවේ විමර්ශන ක්‍රියාදාමයට මැදිහත්වීමට මෙම අධිකරණය අපේක්ෂා කරන්නේ නැහැ.එසේ වුවහොත් අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාදාමය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වෙනවා. ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරනවා.“

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව අද(01) දින ප්‍රකාශයට පත් කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා අපේක්ෂා කරන බවයි.

එම අභියාචනය ඉදිරිපත් කිරීමට අවසර ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා වන කරුණු දැක්වීම් ඔක්තෝබර් 9 වැනිදා සිදු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේය.