බන්ධනාගාර කමිටු වාර්තාව දෙසතියක් තුළ ජනපතිට

බන්ධනාගාර නීති, රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ කමිටු වාර්තාව දෙසතියක් තුළ ජනපති වෙත - නි.අමාත්‍ය ගමගෙදර දිසානායක

by Staff writer 09-10-2026 | 8:08 AM

COLOMBO(News1st) - බන්ධනාගාර අඥා පනත යටතේ සාදන ලද නීති රේගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලින කිරිමට පත් කළ කමිටුවේ වාර්තාව සති 2 ක් තුළ ජනාධිපතිවරයාට ලබා දිමට පියවර ගන්නා බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.

ඔහු සඳහන් කළේ, ඉන් අනතුරුව නිර්දේශ ඇතුළත් වාර්තාව ස්වාමින් වහන්සේලාට පිළිගැන්වීමෙන් අනතුරුව අවශ්‍ය නීති සංශෝධනයට පියවර ගන්නා බවයි.

භික්ෂුන්වහන්සේ බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ(08) එම කමිටුව පත් කළේ ය.

ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර ඊයේ දහවල් පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයට අනුවයි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන පිරිසක් එම කමිටුවට ඇතුළත් වේ.

බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇති.