ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

මාව අත්අඩංගුවට ගන්න එපා.. - ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

by Staff writer 09-10-2026 | 9:34 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයායි.

ගෝඨාභය රාජපක්ෂ සිය පෙත්සම මඟින් පවසන්නේ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළ බවයි.

එම රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය විභාගයට ගැනීමට නොතිසි නිකුත් කිරීමකින් තොරවම  ප්‍රතික්ෂේප කළ බව ද පෙත්සමේ දැක්වේ.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු, එම තීරණය ඉවත්කර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටී.