සංචාරක කර්මාන්තයේ පරිවර්තනයකට නව සැලසුම් රැසක්

සංචාරක කර්මාන්තයේ පරිවර්තනයකට නව සැලසුම් රැසක්

by Staff writer 28-10-2026 | 9:03 PM

COLOMBO(News1st) - සංචාරක අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී වෙන වෙනම විමසා බැලූ ජනාධිපතිවරයා, ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳවද අවධානය යොමු කළේය.

යාපනය, මන්නාරම සහ මඩකලපුව කේන්ද්‍ර කරගනිමින් ලන්දේසි වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සාගර සංචාරක කර්මාන්තය (Marine Tourism) ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා පසුගිය වසරේ ආරම්භ කළ නව ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමු විය.

සංචාරකයන් සඳහා සමුද්‍රීය ගමනාගමනය (Cruise Tourism) ප්‍රවර්ධනය කිරීම සඳහා වරාය ආශ්‍රිතව ලබාදිය යුතු පහසුකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

අනුරාධපුරය, මිහින්තලය සහ මහනුවර හුදෙක් සංචාරක නැරඹුම් ස්ථාන ලෙස පමණක් නොව, බෞද්ධ අධ්‍යාපනය සහ ආධ්‍යාත්මික සංචාරක කර්මාන්තය (Spiritual Tourism) කේන්ද්‍ර කරගත් සුවිශේෂ ගමනාන්ත ලෙස ජාත්‍යන්තරය හමුවේ ප්‍රවර්ධනය කිරීමේ විභවතාව සහ ඒ සඳහා ගත හැකි උපායමාර්ගික පියවර පිළිබඳවද සාකච්ඡා විය.

පාරිසරික සංචාරක ගමනාන්ත (Eco-Tourism) සංවර්ධනය කිරීම සහ ඊට අදාළ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ දකුණු සහ සබරගමුව පළාත් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක Southern Mist ව්‍යාපෘතියේ ප්‍රගතියද විමසා බැලිණි.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා අධ්‍යාපන සහ පුහුණු අවස්ථා පුළුල් කිරීමට සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. එමෙන්ම සංචාරක කර්මාන්තයට අදාළ උපාධි පාඨමාලා හඳුන්වාදීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය යොමු විය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා සංචාරක පොලිස් සේවය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එසේම උතුරු සහ නැගෙනහිර පළාත්වල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අභ්‍යන්තර ගුවන් සේවා පහසුකම් පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු සහ මුදල් අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.