.webp)
 (3)-626792.jpg)
පොලිසිය පැවසුවේ, සැකකරුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂනයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි.
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටි කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැත්තා පොලිස් පහර දීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ ඥාතීහු චෝදනා කළහ.
කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගත් 29 හැවිරිදි පුද්ගලයා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි.
සිද්ධිය සම්බන්ධයෙන්, හෝමාගම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් තුන්දෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගැණින.
මේ අතර අදාළ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ සැකකරුට පහර දී ඇති බව පෙනෙන ශාරීරික තුවාල නිරීක්ෂණය වූ බව පවුලේ සාමාජිකයන් පවසා ඇති බවයි.
කෙසේ වෙතත්, පොලිස් මාධ්ය ප්රකාශකවරයා ඊට ප්රතිවිරුද්ධ අදහසක් දක්වා ඇති බව පෙන්වා දෙන නිතීඥ සංගමය පවසන්නේ මෙම පරස්පර ප්රකාශ හමුවේ මරණයට හේතු වූ පසුබිම සම්පූර්ණයෙන් හා ස්වාධීන ලෙස තහවුරු කර ගැනීමත්, විනිවිදභාවයකින් යුත් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමත් අත්යවශ්ය බවයි.
අත්අඩංගුවේ පසුවන සෑම තැනැත්තෙකුගේම ජීවිතය, සෞඛ්යය සහ ශාරීරික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම රාජ්යයේ මූලික වගකීමක් බව ඔවුන් පෙන්වා දෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මාධ්යට අදහස් දැක්වීය.
උපුටා ගැනීම - මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල
''හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට ස්වාධීන විමර්ශනයක් කරන්න කියලා පොලිස්පතිවරයාට නියෝගයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඒ විමර්ශනය ආරම්භ වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්ය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන සහ විධිමත් විමර්ශනයක් කරලා ඒ විමර්ශනය ලබාදෙන ප්රතිඵල අනුව ඉදිරි ක්රියාමාර්ග ගන්නවා. මෙවැනි සිදුවීම් සිද්ධවෙන වහාම අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. පොලීසිය වුණත් කටයුතු කළ යුත්තේ නීතියට අනුගතව. ඊට පරිබාහිරව කිසිදු නිලධාරියෙකුට ක්රියා කරන්න හැකියාවක් නෑ. එහි ප්රතිඵලයක් හැටියට තමයි පහුගිය වසර දෙක තුළ නිලධාරින් 1,200ක වැඩ තහනම් වෙන්නේ. ඒ හින්දා අපි දැඩි ලෙස නීතියට පරිබාහිරව ගන්නා තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්. ඒ හින්දා පොලීසියටත් අත්තනෝමතිකව බලය යොදන්න හැකියාවක් නෑ. හැබැයි යම් සිද්ධියක් වාර්තා වුණාම පසුගිය කාලේ වගේ එක යට ගහගෙන තියන්න අපි උත්සාහ කරන්නේ නෑ. හැම සිද්ධියක්ම විමර්ශනය කරලා සාධාරණය ඉෂ්ට කරන්න අපි සූදානම්. හෝමාගම සිද්ධිය සම්බන්ධයෙනුත් අපි මහජනතාවට කියන්නේ මේ සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන අපක්ෂපාතී විමර්ශනයක් කරන්න පොලිස්පතිවරයාට නියෝග ලබා දීලා තියෙනවා. ඒ විමර්ශනයෙන් පස්සේ අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගන්නවා.''
මේ අතර පොලිස් මාධ්ය ප්රකාශකවරයා උපුටා දක්වමින් ශ්රී ලංකා නීතිඥ සංගමය නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන්, පොලිස් මාධ්ය ප්රකාශකවරයා ප්රතිචාර දක්වා තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුඩ්ලර් මහතා සඳහන් කරන්නේ, ශ්රී ලංකා නීතිඥ සංගමය නිවේදනයේ සඳහන් කර ඇති පරිදි තමන් ප්රකාශයක් නොකළ බවයි.
ඔහු සඳහන් කළේ එම ප්රකාශය තරයේ ප්රතික්ෂේප කරන බවයි.
