හෝමාගම ඇත්තටම මොකද වුණේ?

හෝමාගම ඇත්තටම මොකද වුණේ? සිද්ධිය ගැන පොලීසිය කරුණු පැහැදිලි කරයි!

by Staff writer 29-10-2026 | 7:40 PM

COLOMBO(News1st) - පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු මිය යෑම සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12  වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ හෝමාගම මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හෝමාගම පොලීසිය විසින්, මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි පුද්ගලයෙක් හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය 25 වැනිදා මියගියේය.

මරණය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිද ඇතුළු පවුලේ ඥාතීන් හෝමාගම පොලීසියට චෝදනා කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනමට ලක් කෙරුණු අතර, ඒ අතරට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තුන්දෙනෙකු ඇතුළත්.

එලෙස වැඩතහනමට ලක්ව සිටි හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා  ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනි.

ඒ, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන්, හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරායගේ ද වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ, පොලිස්පතිවරයාගේ නියෝග මතයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

මේ අතර, මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කෙරුණි.

ඒ කිරිවත්තුඩුව ගල්කන්ද පොදු  සුසාන භූමියේදීයි.

දේහය පිළිබදව අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය, කැස්බෑව දිසා අධිකරණය විසින් නියෝගයක් ලබාගෙන තිබූ අතර එම නියෝගයේ සදහන් වූයේ සාමකාමීව කිසිදු අයෙකුට හිංසාවක් පීඩාවක් නොවන අයුරින් එම කටයුතු සිදුකරන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කරුණු පැහැදිලි කිරීමක් කළේය.


එස්. සජීව මැදවත්ත
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

මෙම තරුණයා අත්අඩංගුවට පත් වන්නේ 25 වෙනිදා අලුයම් කාලයේ. නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ 24 වෙනිදා.  24 වෙනිදා රෝහල් ගත වෙලා ඉඳලා තියෙනවා. ඔහු පැවසුවේ අත්අඩංගුවට ගැනීමේදී මම බයිසිකලයෙන් වැටුනා. ඒ නිසා තමයි හොස්පිටල් ඇඩ්මිට් වුනේ කියලා. ඒ වුණත් මේ තරුණයා පැය කීපයක් රෝහල් ගත ගත කර ඉඳලා ඒ කියන්නේ වෛද්‍යවරුන්ගේ අවසරයක් නොමැතිව ඔහු රෝහලෙන් පලා ගොස් තිබෙනවා. නමුත් පසුව අනාවරණය වෙනවා මොහු අත්අඩංගුවට පත් වෙන්න ප්‍රථම අර බයිසිකලයෙන් වැටුනා කියලා කිව්වට සිද්ධ වෙලා තියෙන්නේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වෙලා පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පහර දීම අනුව තමයි රෝහල් ගත වෙලා තියෙන්නේ. එතකොට මේ අනුව එම සිද්ධියත් 24 වෙනිදා ඇති වූ සිද්ධියත් ඒ වගේම පොලීසියේ පොලිස් ස්ථානය තුළ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කරමින් පවතිනවා.පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී සිදු කළ යුතු සම්පූර්ණ ක්‍රියාදාමය, ඔහු ස්ථානය ඉදිරිපත් කිරීම, ප්‍රශ්න කිරීම, අපේ ලේඛන ලකුණු කිරීම ඒ ආදී දෙයක් නිසි පරිදි සිද්ධ වෙලා නැහැ. ඒක තමයි මේ අපේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කරන්නේ. ඒ  සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් සිද්ධ සිදු වෙමින් පවතිනවා.

ප්‍රශ්නය - 
--  එයාල කියනවා මේ වැඩ තහනමට ලක් වුණු අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා මීට පෙරත් මේ මේ වගේ පහර දීම් සහ වෙනත් ගැටලුකාරී තත්ත්වයන්වලට චෝදනාවට ලක් වෙලා තියෙනවා කියලා.


එස්. සජීව මැදවත්ත
බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

-- මේ හෝමාගම කොටසට අනියුක්තව සිටි කාලය තුළ මම හිතන්නේ මාස අටක් විතර වෙනවා. මේ කාලය තුළ කිසිම එහෙම චෝදනාවක් අපිට ලක් වුණේ නැහැ. මේ සිද්ධිය වෙනකන් වෙනත් පොලිස් සම්බන්ධයෙන් එහෙම තොරතුරක් වාර්තා වෙලා නැහැ. පහර දීමක් හෝ බැන වැදීමක් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වාර්තාවෙලා නැහැ.ඉතින් ඒ සිද්ධියට සම්බන්ධ වෙනම විමර්ශනයක් පැවැත්වෙනවා කලින් උප්පවේලි සිද්ධියට.

ප්‍රශ්නය -  පරීක්ෂක ගුරුසිංහ මහත්මයාගේ පියා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කියලා වාර්තා වෙනවා. ඒ හින්දා පොලිස්පතිතුමාත් එක්ක තියෙන ඒ නියෝජ්‍ය පොලිස්පතිතුමා එක්ක තියෙන සබඳතා හින්දා මේ අත්අඩංගුවට  ගැනීම සිදු නොකළ කියලා චෝදනාවක් එල්ල වෙනවා.


එස්. සජීව මැදවත්ත
බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

ඔහුගේ පියා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. මම හිතන්නේ එයා නියෝජ්‍ය පොලිස්වරයෙක් නෙමෙයි. එක දවසක් ඇතුළත අපි ඔහු අත්අඩංගුවට  ගැනීම කරනවා. මුලින්ම වැඩ තහනම් කරා. ඊට පස්සේ අත්අඩංගුවට ගැනීම කරනවා. ඉතින් එහෙම කිසිම බලපෑමක් නම් ඇවිල්ලා නැහැ. පොලිස්තුමා හැම වෙලේම විමසීම් කළේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න තමයි මට උපදෙස් දුන්නේ.

ප්‍රශ්නය - එතකොට පැහැදිලිවම කියන්න පුළුවන්ද මෙතන පොලීසිය පහර දීමක් කරලා තියෙනවා මේ සැකකරුට අමානුෂික ලෙස?


එස්. සජීව මැදවත්ත
බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

මේ හෝමගම සිද්ධියේදී වෛද්‍ය වාර්තාවේ තියෙන්නේ ඔහුගේ ඉලඇට තුනක් කැඩිලා තියෙනවා කියලා. ඊට අමතරව මොළයේ රුධිරය මම හිතන්නේ මේ වාහනය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙලා තියනවා. නමුත් අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මේ හිසට තුවාල වීමක් තියෙනවා. ඉතින් මෙතන මට තියෙන ගැටලුව දැන් මොකද හේතුව දැන් මේ දවස් දෙකක් ළඟ තමයි ඔක්කොම දේවල් වුණේ. 24යි 25යි මේ සිද්ධි දෙක වුණේ. ගමේ එළියේදී පහර දීම සිද්ධ වුණේ 24 වෙනිදා. පොලීසියේ පහර දීම සිද්ධ වුණා සිද්ධ වුණේ 25 වෙනිදා. ඉතින් මේ මේ පැය ගණනාවක් ඇතුළත මේ සිද්ධි වෙනස තියෙන්නේ. ඉතින් මට කියන්න අපහසුයි මේ පහර දීම කෙසේ කොහොමද වුණේ කියලා. නමුත් ඔහුගේ මරණයට හේතුව පහර දීමක් කියලා විශ්වාස කරනවා. නමුත් මට ඒක හරියටම කියන්න බැහැනේ වෛද්‍ය වාර්තාවෙන් ලැබෙන තොරතුරු අනුව. අපි අර සිර මැදිරිය දාන්න ප්‍රථම ඔහු රදවාගෙන තිබෙනවා යම්කිසි කාලයක් මේ  අපරාධ අංශයේ . ඒ තුළදී පහර දීමක් සිදු වූ බවට අපිට තොරතුරු ලැබීමෙන් පවතිනවා. තාම ස්ථිර නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරන්නේ. විමර්ශනය අනුව අපිට මේක තව ඉදිරියේදී මේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්.