සුරාබදු නිළධාරින් 2නෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

බලපත්‍රලාභී සමාගමකින් අල්ලස් ගත් විශ්‍රාමික සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට.

by Staff writer 06-11-2026 | 8:33 AM

COLOMBO(News1st) - අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු වන චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි නැමැත්තෙකු  සහ මාතර සුරාබදු ස්ථානයේ සේවය කරන සුරාබදු කෝප්‍රල්වරයෙකු වන පොල්ගම්පලගේ සම්පත් රණසිංහ යන අයයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කළුතර සුරාබදු අධිකාරීවරයා සහ අළුත්ගම සුරාබදු අධිකාරී (නිෂ්පාදනාගාර) වැඩබලන නිලධාරියා ලෙස සේවය කළ කාලසීමාවේදී තම අධීක්ෂණය යටතේ පැවති නීත්‍යනුකූල බලපත්‍රලාභී සමාගමක ගිණුම්වලින් නිකුත් කළ මුදල් චෙක්පත් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම අදාළ සමාගමේ ස්කාගාරයේ සේවය කළ සුරාබදු නිලධාරියෙකු ලෙස තම නිල බලයෙන් ලබා ගැනීමට බලයක් නොමැති එම චෙක්පත් අල්ලස් ලෙස භාරගැනීම සම්බන්ධයෙන් සුරාබදු කෝප්‍රල්වරයාටද චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.