අද(10) ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මි.මී. 100 ට වැඩි තද වැසි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 10-11-2026 | 8:05 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර මුලතිව් සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 - 70 දක්වාවූ තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

අද අලුයම 5.30 වන විට වැඩිම වර්ෂාපතනය දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලිමීටර් 162.5කි.

උඩුගමට මිලිමීටර් 139ක් සහ දැරණියගලට මිලිමීටර් 115ක වර්ෂාපතනයක් ඇඳහැලී ඇතැයි සඳහන් වේ.

පවතින අධික වර්ෂාවත් සමග ගිං , කලු , කැළණි ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර පැවසුවේ, ඉදිරි පැය කිහිපය තුළ ගිං ගඟේ පහළ ප්‍රදේශ වන නාගොඩ,  බද්දේගම, වැලිවිටිය - දිවිතුර යන ප්‍රදේශීය ලෙක්ම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

අධික වැසි සමග අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, අත්තනගලුඔය ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු  වර්ෂා තත්ත්වය හා බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු මගින් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් ඇති බවයි.

ඒ හේතුවෙන් ඉදිරි කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල්ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 09 කට නිකුත් කල නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

බදුල්ල , ගාල්ල , මහනුවර , කෑගල්ල , නුවරඑළිය , රත්නපුර , කොළඹ , කළුතර , මොණඍාගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.