අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

by Staff writer 11-11-2026 | 8:38 AM

COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි  ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ සෙසු ප්‍රෙද්ශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

උතුරු සහ නැගෙනිහිර පළාත් වල අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපෙක්ෂා කළ හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං වලින් සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මේ අතර කලු, ගිං සහ නිල්වලා ගංගා තවදුරටත් ප්‍රදේශ කිහිපයකින් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කලු ගඟ මිල්ලකන්ද ප්‍රෙද්ශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.

ගිං ගඟ බද්දේගමින් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතින්නේ තල්ගමගොඩින් සහ පානදුගම ප්‍රදේශවලින්.

මේ අතර  දිස්ත්‍රික්ක 9කට නිකුත් කල නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.

බදුල්ල , ගාල්ල , මහනුවර , කෑගල්ල , නුවරඑළිය , රත්නපුර , කොළඹ , කළුතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් ය .