.webp)
-628587.jpg)
ඇමරිකානු තාක්ෂණික දැවැන්තයෙකු වන NVIDIA සමාගමේ නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං යළි එම ධුරයට පත් කිරීමට සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව, පසුගිය නොවැම්බර් 12 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ 63 හැවිරිදි ජෙන්සන් හුවාං යළිත් වහාම ක්‍රියාත්මක වන පරිදි සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.
සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ඒකමතික ඡන්දයෙනි.
විවාහයෙන් පිටත සබඳතා සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් සහ චීන බුද්ධි අංශ සමග සබඳතා පවත්වන බවට ඇමරිකානු බලධාරීන් සැක කරන චීන ව්‍යාපාරික කාන්තාවක සමග පැවති සබඳතාවක් පිළිබඳ වාර්තා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබිණි.
මෙම සිදුවීම NVIDIA සමාගමේ අනාගත නායකත්වය මෙන්ම ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සහ චීනයට උසස් කෘත්‍රිම බුද්ධි චිප් අපනයනය කිරීම සම්බන්ධයෙන් ද පුළුල් අවධානයක් යොමු කරවූ සිදුවීමක් විය.
කෙසේ වෙතත්, ජෙන්සන් හුවාං යළි පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් NVIDIA සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සභාපති හාවි ජෝන්ස් ප්‍රකාශ කර ඇත්තේ, ඔහු සමාගම මෙහෙයවීමට වඩාත් සුදුසු පුද්ගලයා බවට අධ්යක්ෂ මණ්ඩලය විශ්වාස කරන බවයි.
එම තීරණය ගැනීමේදී ඇමරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ද අදහස් ලබාගත් බව NVIDIA සමාගම නිවේදනය කර තිබේ. ජෙන්සන් හුවාං යළි පත් කිරීමෙන් ජාතික ආරක්ෂාවට අවදානමක් නොමැති බවද, එම තොරතුරු මත පදනම්ව අධ්යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
මේ අතර, ජෙන්සන් හුවාං යළි එම ධුරයට පත් කිරීම නිවැරදි සහ සුදුසු තීරණයක් බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර තිබේ.
NVIDIA සමාගමේ කොටස් මිල මෙම නිවේදනයත් සමග වෙළෙඳපොළ ආරම්භයේදී 33%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එමඟින් සමාගමේ වෙළෙඳපොළ වටිනාකමට අමෙරිකානු ඩොලර් බිලියන 900කට ආසන්න වටිනාකමක් එක්වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජෙන්සන් හුවාංගේ ඉවත්වීමෙන් අනතුරුව අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී කොලෙට් ක්‍රෙස් යළි එම මූල්‍ය තනතුරට පැමිණීමට නියමිතය.
කෙසේ වෙතත්, විදේශීය බුද්ධි අංශ මැදිහත්වීමක් සම්බන්ධයෙන් ජෙන්සන් හුවාං ඉලක්ක කරගෙන සිදු වූ බවට වාර්තා වන සිදුවීම් පිළිබඳ NVIDIA සමාගම ආරම්භ කළ ස්වාධීන විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද සමාගම අවධාරණය කර තිබේ.
එමෙන්ම, ජාතික ආරක්ෂාව සහ අපනයන පාලන නීතිවලට අනුකූල වීම සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා වෙනම කමිටුවක් පත් කිරීමටත්, නව ප්‍රධාන අනුකූලතා නිලධාරියෙකු (Chief Compliance Officer) බඳවා ගැනීමටත් NVIDIA සමාගම පියවර ගෙන ඇත.
