.webp)
COLOMBO (News 1st) : අද (02)උදෑසන 5 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය හම්බන්තොටින් වාර්තා වෙයි.
එම අගය මිලිමීටර 172 කි.
මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මේ අතර , කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ඳ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර මට්ටමේ පවතී.
මිල්ලකන්ද මාපකයේ මහ ගංවතුර මට්ටම ලෙස සැළකෙන්නේ මීටර් 8 කි.
අද අලුයම 3 පමණ වන විට එහි අගය සටහන් වුණේ මීටර 8 යි දශම 54 ක් ලෙසයි.
කළු ගඟ පුටුපවුල ප්‍රදේශයෙන් පවතින්නේ ද සුළු ගංවතුර මට්ටමේ බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබේ.
නිල්වලා ගඟ, පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් තවදුරටත් පවතින්නේ සුළු ගංවතුර මට්ටමේ ය.
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පවතී.
වැස්සෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,496 කි.
වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.
එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 9506 ක් පීඩාවට පත්ව සිටී.
අර්ධ නිවාස හානි 376 ක් වාර්තා විය.
මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 08කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.
එම දිස්ත්‍රික්ක වන්නේ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර, මාතලේ හා හම්බන්තොටයි.
දකුණු පළාතේ පීඩාවට පත්වූ පුද්ගලයින්ට සහන සැලසීමට සිය කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි නාවික හමුදාව නිවේදනය කළේ ය
ඒ අනුව අකුරුස්ස, අතුරලිය, තවලම සහ කඹුරුපිටිය යන ප්‍රදේශවලට එම කණ්ඩායම් අනුයුක්ත කර තිබේ.