කාරක සභාවලට බාහිර පාර්ශවයක් කැඳවීමේදී කතානායක අවසරය අනිවාර්යයි

by Sagarika Chathumali 20-11-2023 | 12:25 PM

COLOMBO (News 1st) -  පාර්ලිමේන්තු කාරක සභා සඳහා බාහිර පාර්ශවයක් කැඳවීමේදී කතානායකවරයාගේ අවසරය ගැනීම, අනිවාර්ය බව කතානායකවරයා පවසයි. 

 

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම්දීමක් සිදු කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ , පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක  විවිධ කාරක සභා සඳහා සාමාජික මන්ත්‍රීවරුන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රීවරුන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාරක සභාවේ වැඩ කටයුතු සඳහා කැඳවීම්  කරන ලද වෙනත් භාහිර ආයතනවල නිලධාරීන්ට ද එකී කාරක සභාවේ කටයුතු ඉටු කරනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවේ මහත්ම මහත්මීන්ට ද පමණක් එම කාරක සභා සඳහා රැස්වීම්  සඳහා සහභාගී විය හැකි බවයි. 

කාතානායකවරයා අවධාරණය කළේ, වෙනත් කිසිදු පුද්ගලයෙකුට එම කාරක සභා රැස්වීම් පවත්වන අවස්ථාවේදී කාරක සභා කාමර තුළට ඇතුළුවීමට අවසරයක් නොමැති බවයි. 

තමන්ගේ විෂය සීමාවේ ඉක්මවා කටයුතු කිරීමේ ප්‍රවණතාවක් පිළිබඳ තමන් වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තාවී ඇති බව සඳහන් කළ කාරක සභා සභාපතිවරයා  අවධාරණය කළේ, ඒවා සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තු ස්ථාවාර නියෝග විධිවිධාන ප්‍රකාරව  බැඳී සිටින බවයි. 

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරයා විසින් කාරක සභාවේ කටයුතු කිරීම, සම්බන්ධීකරණය හා උපදේශන කාර්යයන් සඳහා කිසියම් භාහිර පුද්ගලයෙකුගේ සේවය ස්වේච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා තමන්ගේ  පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා ප්‍රකාශ කළේ ය. 

තව ද කාරක සභා කටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල දෙපාර්ත මේන්තුවල ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ කටයුතු කිරීමට සභාපතිවරුන් වග බලා ගත යුතු බව ද කතානායකවරයා පැවසී ය.
 

''තව ද කාරක සභා කටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල දෙපාර්ත මේන්තුවල ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ ගෞරවයට, අභිමානයට හානියක් නොවන ආකාරයෙන් සමබරව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත්, ලිපි ගනුදෙනු කිරීමේදී අදාළ  කාරක සභා නාමය සහිත නිල ලිපි ශීර්ෂ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිත කිරීමටත්, එම කාරක සභා නිල ලිපි කිසිම ශීර්ෂ කිසිම අවස්ථාවක පෞද්ගලික හෝ දේශපාලනික කාරණා සඳහා භාවිත නොකිරීමටත් එලෙසම කාරක සභා සඳහා කටයුතු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ද මෙතෙක් අනුගමනය කළ  ක්‍රමවේදයන්ට අනුකූලව පමණක් කටයුතු කිරීමටත් සියලුම කාරක සභා සභාපතිවරුන් විසින් වග බලා ගත යුතුයි ''