ට්‍රම්ප්ගේ නව බදු පනත එරට කොංග්‍රසය සම්මත කරයි

ඩොනල්ට් ට්‍රම්ප්ගේ නව බදු පනත එරට කොංග්‍රසය සම්මත කරයි

by Staff writer 04-07-2025 | 7:37 AM

COLOMBO (News1st) - ඩොනල්ට් ට්‍රම්ප්ගේ බදු පනත අමෙරිකානු කොංග්‍රසය මගින් සම්මත කර තිබේ.

Big Beautiful Bill ලෙස ට්‍රම්ප් හැඳින්වූ එම පනතින් එරට දේශසීමා ආරක්ෂාව, රැඳවුම් මධ්‍යස්ථාන සහ මිසයිල ආරක්ෂක ගෝල්ඩ්ඩෝම් ව්‍යාපෘතිය ඇතුළු හමුදා වියදම් සඳහා  මුදල් වෙන් කර තිබේ.

එරට මධ්‍යම පාන්තික අමෙරිකානුවන්ට පනවන බදු කප්පාදු කරන රෙගුලාසි ද එම පනතට ඇතුළත් ය.

කෙසේ නමුත් එමගින් එරට මිලියන ගණනක පිරිසකගේ සෞඛ්‍ය සේවා, ආහාර ආධාර අවහිර වන අතර අමෙරිකානු පරිසර හිතකර බලශක්ති ව්‍යාපෘති සඳහා වන බදු සහනද අවහිර වනු ඇති.‍

එම පනත සම්මත වූයේ එරට කැපිටල් හිල්හි පැවති දීර්ඝ සැසිවාරයකින් අනතුරුවයි.

ජූලි 4 වන දින මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා ලෙසට ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කොංග්‍රසයට දන්වා තිබූ පසුබිමක එම පනත සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 218ක් ලැබී ඇති අතර , විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව  214කි.

එරට ඩිමොක්‍රටික් පක්ෂයේ සියලු දෙනා මෙන්ම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ දෙදෙනෙකුද ඊට විරුද්ධවූවන් අතරට ඇතුළත් ය.

එම පනත නීතියක් බවට පත්වීමත් සමග එරට ණයවලට තවත් ඩොලර් ට්‍රිලියන 3කට වැඩි ප්‍රමාණයක් එක් විය හැකි බව ඇමරිකානු විශ්ලේෂකයින් පවසයි.

මේ අතර , එම පනතට ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට දිනයේ අත්සන් කරනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් අනතුරුව එම පනත අමෙරිකාවේ පිළිගත් නීතීයක් බවට පත්වනු ඇති.