සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ...

by Staff writer 27-05-2023 | 6:37 AM

COLOMBO (News 1st) - 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

නැවත සමීක්ෂණ  ප්‍රතිඵල www.donets.lk විභාග දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩිවියට පිවිස ලබා ගත හැකිවේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙවර නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272කු අයදුම් කර තිබුණු බවයි.

මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා පැවසුවේ දින 5 කට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර එලෙස සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහරින බවයි.

විභාගයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය බෙදාහැරීම මේ වන විට අවසන් කර ඇතැයිද, ඔහු සඳහන් කළේ ය.

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, බන්ධනාගාර රැඳවියන් හා පිලිකා රෝගීන් සඳහා මෙවරත්, සාමාන්‍ය පෙළ විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි, කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

අමිත් ජයසුන්දර මහතා පැවසුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු වැළඳුන විභාග අපේක්ෂකයින් ඇත්නම්, විශේෂඥ උපදෙස් මත ඔවුන්ට ආසන්නතම විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සෑම අයදුම්කරුවෙකුම ඩෙංගු රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ශරීරය ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී විභාග, මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම්  දෙයි.

ඔහු පැවසුවේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒ සම්බන්ධයෙන් සිසුන්ට උපදෙස් ලබා දෙන්නැයි දැනුම්දී ඇති බවයි.

2021 අපොස සාමාන්‍ය පෙළ  විභාගය අනිද්දා (29)  ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් හාර ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුන් දෙනෙකු පෙනී සිටින බවයි.

ඒ විභාග මධ්‍යස්ථාන 3,568කදී යි.