යුරෝපයේ ගොවීන් යකා නටයි..

යුරෝපයේ ගොවීන් යකා නටයි.. ආරක්ෂක අංශවලට බිත්තර ප්‍රහාර..

by Hashini De Mel 02-02-2024 | 6:01 PM

COLOMBO (News 1st) - බෙල්ජියමේ බ්‍රසල්ස්හි යුරෝපා සංගම් සමුළුව පැවැත්වෙද්දී ගොවි විරෝධතාවයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

ජීවන වියදම හා අධික බදුවලට එරෙහිව යුරෝපය පුරා විසිරී සිටින ගොවීන් මෙලෙස එක්ව සිටියහ.

එහිදී විරෝධතා දක්වන ගොවීන් ට්‍රැක්ටර් රථවලින් වීදි අවහිර කරමින් ආරක්ෂක අංශ වෙත බිත්තර ප්‍රහාර ද එල්ල කර තිබේ. 

යුක්‍රේනය සඳහා නව අරමුදල් සැපයීමට එකඟ වූ තීරණාත්මක රැස්වීමක්වූ හෙයින් ගොවීන් මෙම විරෝධතාවට බ්‍රහස්පතින්දා එක්වූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

යුරෝපීය පාර්ලිමේන්තුවෙන් පිටත සමුළුව පැවැත්වීමට පෙර විරෝධතාකරුවන් තම ට්‍රැක්ටර්වලින් නලා නංවමින්, බිත්තර ගසමින් සහ ගිනි තබමින් විරෝධතාවයේ නිරත විය.

ට්‍රැක්ටර් විශාල ප්‍රමාණයක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අසල නවතා තිබෙනු දැක ගත හැකි විය.

ඇතැම් විරෝධතාකරුවන්ගෙන් සමහරක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විවිධ ද්‍රව්‍ය ගිනි තබා තිබේ.

බෙල්ජියම් අගනුවර සැලසුම් කර ඇති පෙළපාලිය සඳහා ට්‍රැක්ටර් 1,000 ක් පමණ බලාපොරොත්තු වන බව එරට පොලීසිය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.