දැරියක් දූෂණය කර වරදකරුවෙක් වුණොත් වඳ සැත්කමක්

දැරියක් දූෂණය කර වරදකරුවෙක් වුණොත් සැත්කමකින් වඳ කිරීමේ නීතියක් මැඩගස්කරයෙන්

by Chathurika Jayasundara 16-02-2024 | 2:26 PM

COLOMBO (News 1st) - දිනෙන් දින ඉහළ යන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් මැඩගස්කර් රජය නව නීතියක් පනවා තිබෙනවා.

ඒ අනුව, බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදු කරන අපරාධකරුවන් වඳභාවයට පත් කිරීමට අවශ්‍ය නිතීයක් මැඩගස්කරයේ පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, වැරදිකරුවන් රසායනික හෝ සමහර අවස්ථාවල ශල්‍යකර්මයක් තුළින් වඳ කිරීමට මේ නීතිය මගින් අවසර ලැබෙන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , මෙම නීතිය පෙබරවාරි 2 වැනිදා සම්මත කරන ලද අතර, එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව පසුගිය සතියේ එය අනුමත කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ අත්සන් ලැබීමෙන් පසුව එය ක්‍රියාත්මක කළ හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.  

2023 වසරේදී මැඩගස්කරයේ බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ සිද්ධීන් 600ක් වාර්තා වී ඇති අතර, පසුගිය ජනවාරි මාසයේදී පමණක් සිද්ධීන් 133ක් වාර්තා වී තිබෙනවා.
 
ළමුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මැඩගස්කර රජය අපරාධකරුවන්ට දඬුවම් වැඩි කිරීමට මෙම නීතිය සම්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

නව නීතිය අනුව කිසියම් පුද්ගලයෙක් වයස අවුරුදු 10 ට අඩු දරුවෙක් දූෂණය කිරීමකට වරදකරු වුවහොත් සැත්කමක් මගින් ඔහුව වඳ භාවයට පත් කිරීමට නීතිමය අවසරය හිමිවනවා.

මේ අතර වයස අවුරුදු 10 ත් 13 ත් අතර දරුවෙකු දූෂණය කිරීමකට වරදකරු වුවහොත් සැත්කමක් මගින් හෝ රසායනිකව වඳ භාවයට පත් කර දඬුවම් ලබා දෙනු ලබනවා.

වයස අවුරුදු 14 ත් 17 ත් අතර දරුවෙකු දූෂණය කිරීමකට වරදකරු වුවහොත් රසායනික ද්‍රව්‍ය හෝ ඖෂධ භාවිතා කිරීම මගින් 
 වඳ භාවයට පත් කර දඬුවම් ලබා දෙනවා.

කෙසේ නමුත් පැන වූ නව නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්ව ඇති අතර , ඔවුන් පෙන්වා දෙනනේ එය රටේ ව්‍යවස්ථාපිත නීතිවලට නොගැලපෙන අමානුෂික හා අවමන් සහගත සැලකීමක් ලෙසයි.