සෙනගල්හි ජනපතිවරණය කල් දැමීම ගැන නිවේදනයක්..

"සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දැමීම ව්‍යවස්ථාවට පටහැනියි" - එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

by Staff writer 16-02-2024 | 12:18 PM

COLOMBO (News 1st) - සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දැමීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය එළැඹෙන පෙබරවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. 

නමුත් එරට වත්මන් ජනාධිපති මැකී සෝල් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ, එය දෙසැම්බර් මාසය දක්වා කල් දමන බවයි. 

ඒ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පනතක්ද සම්මත කර තිබේ. 

මැකී සෝල් සඳහන් කළේ, විපක්ෂ අපේක්ෂකයින්ගේ සුදුසුකම් පිළිබඳ මතුව ගැටලු හේතුවෙන් මැතිවරණය කල් දමන බවයි. 

නමුත් මෙම තීරණය පාර්ශ්ව ගණනනාවක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළේ ය. 

ඒ අනුව අදාළ ජනාධිපති නියෝගය සහ පාර්ලිමේන්තු පනත වහාම බල රහිත කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

අපේක්ෂිත පරිදි පෙබරවාරි 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවන නමුත්, එය හැකි ඉක්මනින් සංවිධානය කළ යුතු බවද අධිකරණය නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය. 

සෙනගල් රජ්‍යයය කලාපයේ වඩාත්ම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස සැලකෙන අතර, බටහිර අප්‍රිකාවේ හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවූ එකම රටද එයයි.