ග්‍රීසිය සමලිංගික විවාහය නීතිගත කරයි

ග්‍රීසිය නව වාර්තාවක් තබමින් සමලිංගික විවාහය නීතිගත කරයි

by Chathurika Jayasundara 17-02-2024 | 12:24 PM

COLOMBO (News 1st) – සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එරට ආගම්හි දැඩි විරෝධතාවයක් මධ්‍යයේය.  

පෙරේදා (15) එරට පාර්ලමේන්තුවේදී බහුතර ඡන්දයෙන් පසුව මෙම නීතිය සම්මත වූ අතර, මේ යටතේ සමලිංගික යුවල්වලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ද හිමි වනවා  

පනත සම්මත කර ගැනීම සඳහා විවාදය දින දෙකක් පැවැත්වුණා.

පනත වෙනුවෙන් ඡන්දය විමසීමේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් 245න් 176ක්ම පනතට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

නව නීතියට පෞද්ගලිකව නායකත්වය දුන් එරට අගමැතිවරයා  X(එක්ස්) සටහනක් නිකුත් කරමින් පැවසුවේ, මෙය මානව හිමිකම් සඳහා වැදගත් සන්ධිස්ථානයක් වන අතර එමගින් අසමානතාව තුරන් වී ඇති බවයි. 

මේ අතර නව නීතිය ප්‍රකාශයට පත් වූ විට, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිටි දහස් ගණනක් ජනතාව තම සතුට සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කෙසේ වෙතත් මෙම නව පනතත් සමග ඊට පක්ෂ සහ විපක්ෂ පිරිස විවිධ මත පල කරමින් සිටිනවා.

ඊට එරෙහිව බොහෝ පිරිස් විරෝධතාවේ නිරත වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.   

නව පනත සම්මත වීමත් සමග ග්‍රීසියේ LGBTQ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඊට තම සතුට හා ස්තූතිය ප්‍රකාශ කර තිබෙනවා.