මහ පාරේදි කිරි තේ විකිණූ ඉන්දියාවේ තරුණයෙක්..

ලෝක ප්‍රකට බිල්ගේට්ස් බව නොදැන මහ පාරේදි කිරි තේ විකිණූ ඉන්දියාවේ තරුණයෙක්..

by Chathurika Jayasundara 08-03-2024 | 3:02 PM

COLOMBO (News 1st) –  පාර අයිනේ තේ කඩයක්, රොටී කඩයක් දාගෙන වුණත් දියුණු වෙන මනුස්සයා දියුණු වෙනවා කියලා කතාවක් අහලා තියෙනවා ද?

වැදගත් වෙන්නේ උවමනාවයි උත්සාහයයි විතරයි. පුංචි බිස්නස් එකක් වුණත් හරියට කරල මහා ධනපතියෙක් වුණු සෑහෙන්න අය ගැන අපි අහලා තියෙනවා. 

මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්. ඒ අසල්වැසි  ඉන්දියාවෙන් වාර්තා වුණ කතාවක්.

ඉන්දියාවේ චායිවාල එහෙමත් නැත්නම් තේ කඩ ඕනේ තරම් තියෙනවා. නමුත් ඒ අතරින්, ඩොලී නම් මේ පුද්ගලයා  විශේෂ වෙන්නේ ආකර්ෂණීය විදිහට සහ කලාත්මකව තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන හින්දා 

හයිද්‍රාබාද් හි පාරක් අයිනක, කරත්තයක් උඩ තමයි ඩොලි මේ තේ කඩේ කරගෙන යන්නේ.

ඉතින් ඩොලීගේ මේ රස තේ එකක අත්දැකීම විදින්න පසුගිය දවසක ලොව බිලියනපති බිල් ගේට්ස් ඇවිත් තිබුණා. 

ලොව අංක එකේ බිලියනපතියා පාර අයිනේ පොඩි කඩේකින් තේ එකක් බොනවා කියලා ඔබ විශ්වාස කරනවද?

අන්න ඒක තමයි ඩොලීගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය . 

තරුපහේ හෝටලේකින් ඒ තේ එකක් බොන්න බිල් ගේට්ස් ට හැකියාව තිබුණා. 

එහෙම නැත්නම්, ඩොලීව තරු පහේ හෝටලයකට ගෙන්නවලා තේ එකක් හදවගෙන බොන්න තිබුණා.  

නමුත් නියම චායිවාල අත්දැකීම ලබා දීලා ඉන්දියාවේ අනන්‍යතාවය පෙන්නන්න බිල් ගේට්ස්ව එතැනට එක්කන් ගියපු සංවිධායකවරුන්ට උවමනාවක් තිබුණා. 

එතන තමයි ඩොලීගේ ජයග්‍රහණය. 

තේ එකක් වුණත් තමන්ගෙ අනන්‍යතාවය ඇති විශේෂිත ව්‍යාපාරයක් විදියට කලොත් වඩා සාර්ථක වෙන්න පුළුවන් . 

මෙතන වෙන හොදම සිදුවීම තමයි ඩොලී බිල් ගේට්ස් ට තේ හදලා දුන්නත්, ඩොලී බිල් ගේට්ස් ව අදුරගන්නේ නෑ. එයා අවදානය දෙන්නේ තමන්ගේ තේ එකේ නියම රස පාරිභෝගිකයට ලබා දෙන්න විතරයි ...

"මං ඔහු ගැන දැනන් හිටියේ නෑ. ඔහු විදේශ රටක කෙනෙක් නිසා ඔහුට තේ දෙන්න ඕනේ කියලා විතරයි මම හිතුවේ. එයා මගේ ලගින්ම හිටියා . අපි කතා කරේවත් නෑ. දවසක අගමැති මෝදිටත් තේ පිලිගන්වන්න කැමැත්තේන් ඉන්නවා..." 

බිල් ගේට්ස් ඩොලීගේ මේ තේ එකේ රස බලන්න සම්බන්ධ වුණේ ආසියාවේ ධනවතා වුණ මුකේෂ් අම්බානිගේ පුතා ආනන්ද් අම්බානිගේ Pre-Wedding Celebration එකට ගියපු අවස්ථාවේදි.