නොමැකෙන මතක ඉතිරි කර නික්ම ගිය රම්‍යා වනිගසේකර..

නොමැකෙන මතක ඉතිරි කර නික්ම ගිය රම්‍යා වනිගසේකර..

by Staff writer 09-03-2024 | 9:59 AM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරට අභිමානයක් එක් කරමින් මෙරට කලා ක්ෂේත්‍ර කිහිපයක් බැබලවූ, ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මිය ඊයෙ සිය ජීවන ගමනට සමුදුන්නා. 

කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 73 ක්.

දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබෙනවා. 

දේහය හෙට පෙරවරු 12.00ට ගුවන් විදුලි සංස්ථාවට රැගෙන යාමට නියමිත අතර, අනතුරුව හෙට පස්වරුවේම බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. 

කටහඬින් රටක් දන්නා නිවේදිකාවක වූ රම්‍යා වනිගසේකර මහත්මියගේ නාමය මෙරට පළමු පෙළ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදක නාමාවලියේ ඉදිරියෙන් සටහන්ව තිබෙනවා.

ගුවන් විදුලිය, වේදිකාව, පුංචි තිරය, රිදී තිරය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් තුළින් ඇය ජනාදරයට පත් වුණේ තම නිසඟ හැකියාවට සතතාභ්‍යාසය ද මුසු කරමින් අධිෂ්ඨානයෙන් ඉටු කළ මෙහෙවර හේතුවෙන්.

මුවන්පැලැස්ස, කැළණි පාලම, කන්ඳේ ගෙදර, පළිඟු මැණිකේ, මැණික් නදිය ගලා බසී, රිදී නිම්නය ඇතුළු ටෙලි නිර්මාණවල ඇගේ රංගනය රසික හදවත් තුළින් කිසිදා ගිලිහී යන්නේ නැහැ.

වනිගසේකර මහත්මියගේ ප්‍රවෘත්ති නිවේදන කලාවේ ගුරුවරයා එල්මෝ ප්‍රනාන්දු මහතායි.

අඩසියවසකට අධික සිය නිර්මාණ දිවිය තුළදි ගුවන් විදුලිය වේදීකාව සහ පුංචි තිරයට එක ලෙස දායක වෙමින්,  ලාංකේය කලා ක්ෂේත්‍රයට කළ උත්තුංග මෙහෙවර උදෙසා රම්‍යා වනිගසේතර මහත්මිය ශ්‍රී ලංකා වනිතාභිමාන අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබුවේ පසුගිය වසරේදීයි.

රම්‍යා වනිගසේකර මහත්මිය දැඩි කැපවීමෙන් යුතුව මෙරට කලා කෂේත්‍රයට ඉටු කළ මෙහෙවර රන් අකුරින් ලියැවෙනු නොඅනුමානයි.

රම්‍යා වනිගසේකර මහත්මිය, ඔබට අජරාමර නිවන් සුව..!