තැපැල්කරුවන්ගේ හිඟයක්..

තැපැල්කරුවන්ගේ හිඟයක්.. දිවයින පුරා ලිපි බෙදා හැරීමට බාධා...

by Staff writer 02-04-2024 | 6:17 AM

COLOMBO (News 1st) - දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදා හැරීමට බාධා එල්ල වී තිබේ.

ඒ, තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙනි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් තැපැල්පති පී. සත්කුමාර් මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් දිනක ප්‍රමාදවීම් යටතේ, ඇතැම් පළාත්වල ලිපි බෙදීම සිදුවන බවයි.

කලාප වශයෙන් කොටස්කර ලිපිබෙදීමේ කටයුතු සිදු කරමින් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු සිය දෙපාර්තමේන්තුව සතු බව ද ඔහු සඳහන් කළේ ය.

තැපැල්පතිවරයා පැවසුවේ, බොහෝ නිලධාරීන් විශ්‍රාම යාම සහ නව බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් තැපැල් සේවයේ ඇතැම් සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බවයි.