වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා යළිත් අඩාලයි

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා දෙවැනි වරටත් අඩාලයි..

by Staff writer 26-04-2024 | 7:01 AM

COLOMBO (News 1st) -  වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබේ. 

ඒ වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් ඒ සඳහා නොපැමිණීම හේතුවෙන් ය.

පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පළමු වරට සාකච්ඡාවක් සංවිධාන කෙරිණ.

ඒ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ය.

කෙසේ වෙතත් එම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් සහභාගි වූයේ නැහැ.

ඒ හේතුවෙන් සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට නොහැකි වූ බව කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

දෙවැනි වරට පෙරේදා සාකච්ඡාවක් කැඳවා තිබුණද ඊටද වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් සහභාගි නොවීම හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

පවතින තත්ත්වය යටතේ වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීම දිනෙන් දිනම කල් දැමීමට සිදුව තිබේ. 

මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර මහතාගෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අවසන් වරට වැඩි කෙරුණේ 2021 වසරේදී ය.

එහිදී දීමනාද ඇතුළුව වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කෙරිණ.

මේ වනවිට වතු වෘත්තීය සමිති පවසන්නේ, තම දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩි කළ යුතු බවයි.