තර්ෂන්ට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන්න වරම්!

ප්‍රංශයේදී රසවත්ම පාන් සාදා ලාංකික නාමය බැබළ වූ තර්ෂන්ට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන්න වරම්!

by Chathurika Jayasundara 13-05-2024 | 8:40 AM

COLOMBO (News 1st) -  රසවත්ම පාන් සාදා ශ්‍රි ලංකාවේ නාමය ප්‍රංශයට ගෙන ගිය තර්ෂන් සෙල්වරාජා ඔබට මතකද ?

ප්‍රංශයේ අති විශිෂ්ඨතම බැගට් සාදා ප්‍රංශ ජනාධිපතිටත් පාන් සෑදු තර්ෂන් ලාංකික නාමය යළිත් වරක් ලොව හමුවේ ඉහළට ඔසවා තැබීමට සමත්ව තිබෙනවා.

මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව පැරිස් නුවරට රැගෙන යාමට නියමිත අතර, ඊට පුද්ගලයින් 10,000ක් සම්බන්ධ කරගෙන තිබෙනවා.

ඒ අනුව ගිනි සිළුව රැගෙන යාම සඳහා සම්මානනීය බේකරි නිෂ්පාදකයෙක් ලෙස නම් දරා සිටින  තර්ෂන් සෙල්වරාජාට ද අවස්ථාව හිමිවෙනවා.

ඒ, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ඉතිහාසගත වෙමින්. 

ඔහු ලෝකය පුරාම ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ ඔහු නිශ්පාදනය කරන ප්‍රංශ පාන් හෙවත් බැගට් හේතුවෙන්. 

මීට වසර 10කට පමණ පෙර ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූ ඔහු බේකරි නිෂ්පාදකයෙක් ලෙස එරට කටයුතු කරනවා. 

පසුගිය වසරේ පැවති සාම්ප්‍රදායික බැගෙට් තරගය ජයග්‍රහණය කරමින් පැරිස් නුවර ප්‍රමිතියෙන් යුක්ත සහ රසම බැගට් නිෂ්පාදකයා බවට පත් වීමට තර්ෂන් සෙල්වරාජා සමත් වුණා.

තර්ෂන් ලද මෙම ජයග්‍රහණය හේතුවෙන් ඔහුට මෙවර ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව හිමිව තිබෙනවා. 

මේ පිළිබඳ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් තර්ෂන් පවසන්නේ, තමා මේ පිළිබඳ දැනගෙන පුදුමයට පත් වූ බවයි.

තමන් මේ සඳහා තෝරාගත් කමිටුවට ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කළා.

මෙතරම් පිරිසක් අතුරින් තමන්ටත් මෙවැනි අවස්ථාවක් ලැබේවි යැයි කිසිවිටෙකවත් නොසිතූ බව තර්ෂන් වැඩිදුරටත් සඳහන් කළා.