.webp)
මියගිය නාවුක හමුදා සාමාජිකයා අනතුරට පත්ව ඇත්තේ, කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදේදී ඉන්දීය ධීවරයින්ගේ කලහාකාරී හැසිරීම හේතුවෙනි.
අද අළුයම කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදේ නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත්කර තිබේ.
ඒ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් Sea of Sri lanka මුහුදු කලාපයට ඇතුල්වී ඇති බවට නිරීක්ෂණයවීම හේතුවෙනි.
ඒ අනුව ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය යොදවා ඇත.
මුහුදු සීමා උල්ලංඝනය කරමින් පැමිණි ධීවර යාත්‍රාවක සිටි ඉන්දීය ධිවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට උත්සාහ කළ බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.
ඒ අනුව නාවික හමුදා යාත්‍රාව ඉන්දීය ධීවරයින් සිටි යාත්‍රාව ආසන්නයට යාත්‍රා කළ විට ඔවුන් කලහාකාරී ලෙස තම යාත්‍රාව හැසිරවීම හේතුවෙන් සිදුවූ අනතුරෙන් නාවික හමුදා සාමාජිකයා බරපතල ලෙස තුවාල ලබා තිබේ.
නාවික හමුදාව ප්‍රකාශ කළේ, ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වූ බවයි.
අදාළ යාත්‍රාවේ සිට අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 10 දෙනා කන්කසන්තුරයට රැගෙන ඒමෙන් අනතුරුව මයිලඩි ධිවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදී තිබිණි.
ඔවුන් පැමිණ ඇත්තේ ඉන්දියාවේ නාගපට්නම් සිටයි.
ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ අනතුරෙන් මියගියේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ ප්‍රධාන සුළු නිලධරී ලෙස කටයුතු කළ ප්‍රියන්ත රත්නායක මහතායි.
ඉබ්බාගමුව හිපව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු , මියයන විට 41 වන වියේ පසුවිය.
2004 වසරේදී නාවික හමුදාවට එක්ව ඇති ප්‍රියන්ත රත්නායක මහතා කිමිදුම් අංශයෙන් ඉහළ දක්ෂතා පෙන්වූ අයෙක්.
දෙදෙරු පියෙකු ඔහුට වයස අවුරුදු 6 ක පුතෙකු සහ වයස අවුරුදු 11 දියණීයක සිටී.
මියගිය නාවික හමුදා සාමාජිකයාගේ මෘත ශරීරය අද (25) පස්වරුව වනවිට යාපනය රෝහලේ තැන්පත් කර තිබිණි.
මේ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර හමුවකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්චා කළ බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රිරි මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.
ධීවර ගැටලුවට ඉක්මනින් විසදුමක් ලගා කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය පෙන්වාදී තිබෙනවා.
දෙරටේ ධීවර අමාත්‍යංශ සම්බන්ධකර ගනිමින් ප්‍රශ්ණයට ස්ථිර විසදුමක් ළඟා කර ගැනීමට කටයුතු කළ යුතු බවට ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇතැයි ද, අලි සබ්‍රිරි මහතා ප්‍රකාශ කළේ ය.
Sea of Sri lanka හෙවත් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් ගණන 214 ක්.
තම භාරයට ගෙන ඇති ඉන්දීය ධීවර යාත්‍රා ගණන 28 ක් බව නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසීය.
ඉන්දු - ලංකා මුහුදු සීමා වෙන් කෙරෙන්නේ 1974 වර්ෂයේදීයි.
අනතුරුව 1979 වසරේදී විදේශිය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ පනත හදුන්වා දෙන අතර එය අර්ථානූකූලව බල ගැන්වෙන්නේ 2018 වසරේ සම්මත කෙරන 2018 අංක එක දරණ පනත් සංශෝධනයෙනි.
එහෙත් ඉන්දීය ධීවර ආක්‍රමනය වසර ගණනාවක් පුරා පවතින ගැටළුවක් වුවත් මෙතෙකේ ඊට ස්ථිර විසදුමක් ලැබී නොමැත.
ධිවර සංගම් පවසන්නේ මේ හේතුවෙන් වසරකට රුපියල් බිලියන 10 ක පමණ අලාභයක් ද සිදුවන බවයි.