Club වසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

Club වසන්ත ඇතුළු දෙදෙනෙක් ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

by Staff writer 10-07-2024 | 10:01 PM

COLOMBO (News 1st) - සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් Club වසන්ත  ඇතුළු පිරිසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

ඒ , ඔවුන් අද පස්වරුවේ  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පෙරේදා (8) උදෑසන 10 ට පමණ අතුරුගිරිය මංසන්ධියේ නව ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කල අවස්ථාවේ කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයෙන් කල්බ් වසන්ත පෙරේරා සහ නයන වාසුල විජේසූරිය නැමති 37 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියහ.

ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ මැණික් විජේවර්ධන, යොමානා කෞෂධී නැමති කාන්තාවක් සහ ගායන ශිල්පිනී කේ.සුජිවා මහත්මිය සමග තවත් පුද්ගලයෙකුට තුවාල සිදුවිය.

මෙම අපරාධයට අදාළ විමර්ශන ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතා යටතේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා අද අතුරුගිරිය පොලිස්ථානයට පැමිණි අවස්ථාවේ විමර්ශන ප්‍රගතිය මාධ්‍යයට පැහැදිලි කරන ලදී.

මෙහීදී දැනට අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් නියෝජ්‍ය පොලිිස්පතිවරයා ඇතුළු නිලධාරීන් සිද්ධිය පිළිබඳව කරුණු විමසන ලදි.

ඔහු පවසන තොරතුරු අනුව මෙම අපරාධය මෙහෙයවා ඇත්තේ ඩුබායි සිටින ලොකු පැටී සහ උණාකුරුවේ ශාන්ත නැමත්තා විසිනි.

බලපිටියේ මහේෂ් ධනුෂ්ක සිල්වා හෙවත් කේතා නමැත්තා යොදා ගනිමින් පච්ච කෙටීමේ ව‍්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම සදහා මුදල් අයෝජනය කිරීමට ලොකු පැටී නමැත්තා ඉදිරිපත්වී ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයනේ පසුව අපරාධකරුවන් පලායාම සඳහා භාවිතා කළ වෑන් රථය පිළිබඳවත් කරුණු ගණනාවක් ආනවරණය වී තිබේ.

එම තොරතුරුවලට අනුව එම වෑන් රථය බෙලිඅත්ත ප්‍රදේශයේ නිවසක මාස තුනකට වැඩිකාලයක් නවතා තබා තිබී ඇති අතර එම නිවස අයත්ව තිබී ඇත්තේ මුල්‍ය ආයතනයක වාහන සිසර් වරයෙකුට ය.

ලොකු පැටී ව්‍යාපාරික ස්ථානය පිළිබඳව කටයුතු කරන විට වාහන සම්බන්ධයෙන් කටයුතු මෙහෙවා ඇත්තේ උණාකුරුවේ ශාන්ත බවට ද පරීක්ණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.