මෙවර ඡන්දයෙන් අලුත් අවස්ථාවක්...

මෙවර මැතිවරණය සඳහා දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසම තීරණය කරයි....

by Staff writer 19-07-2024 | 7:25 AM

COLOMBO (News 1st) - මෙවර ජනාධිපතිවරණයේදී  පළමුවරට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද ඔහු කියා සිටියේ ය.

එහි නියමු ව්‍යාපෘති කිහිපයක් පසුගිය කාලයේ  ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කළ අතර එහි සාර්ථකත්වය මත  මෙවර ජනාධිපතිවරණය සඳහා එම පහසුකම් ලබා දෙනු ඇත.

මීට අමතරව ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බවද රත්නායක මහතා සඳහන් කළේ ය.

සභාපතිවරයා සඳහන් කළේ එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කරන දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත පිරිස් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවයි.