වාහන ආනයන සීමා ඉවත් කිරීමට අනුමැතිය

ලබන වසරේ සිට පුද්ගල ආදායම් බදු අඩු කිරීමට හා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය..

by Staff writer 13-09-2024 | 8:24 PM

COLOMBO ( News 1st ) - ලබන වසරේ අප්‍රේල් සිට දැනට අය කරන පුද්ගලික ආදායම් බදු අනුපාත, අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙතෙක් මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන පුද්ගලයින් බද්දට යටත් වුවත්, නව සංශෝධන අනුව බද්දට යටත් වන්නේ, රුපියල් 150,000 කට වැඩි මාසික ආදායමක් ලබන පුද්ගලයින් ය.

මේ අතර සියයට 6 සිට සියයට 36 ක් දක්වා කාණ්ඩ 6 ක් යටතේ අය කළ බදු අනුපාතයන් ද අඩු කර තිබේ.

නව බදු සංශෝධන අනූව, රුපියල් 150,000 සිට ලක්ෂ 2 දක්වා, පුද්ගල ආදායම් මත අය කරන බදු අනුපාතය, සියයට 2 කි.

රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 3 දක්වා කාණ්ඩයට අයවන බදු අනුපාතය, සියයට 4.2 ක් වේ.

ලක්ෂ 3 සිට ලක්ෂ 4 දක්වා 8.8% ක් රුපියල් ලක්ෂ 4 සිට 5 දක්වා 13.5%  ක්, රුපියල් ලක්ෂ 5 සිට 7 ලක්ෂ 50000 දක්වා 18% ක්, රුපියල් 750,000 සිට දස ලක්ෂය දක්වා 24 % ක් සහ දස ලක්ෂයට වැඩි ආදායම් බදු මත 27% ක බදු අනුපාතයක් අය කිරීමට යෝජිතයි.

මේ අතර සියලු වාහන සඳහා පනවා තිබූ ආනයන සීමා, ලබන වසරේ පෙබරවාරී මාසයේ සිට ඉවත් කිරීමට ද, කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අධිකරණ හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව සඳහන් කළේ ය.

රුපියල ස්ථාවර වීමත් සමග ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ වාසිය, ජනතාවට ලබා දීමේ අරමුණින් එම තීරණය ගත් බව, අමාත්‍යවරයා සඳහන් කළේය.