මැතිවරණ කොමිෂන් සභාවෙන් වැදගත් උපදෙස් කිහිපයක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් වැදගත් උපදෙස් කිහිපයක්

by Staff writer 18-09-2024 | 10:25 PM

COLOMBO (News 1st) - ඡන්ද පොළට ඇතුළුවීමට අවසර ඇති තැනැත්තන් සහ ඡන්ද මධ්‍යස්ථාන , ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නොමනා කටයුතු ලෙස සැලකෙන නීතියෙන් තහනම් ක්‍රියා පිළිබඳ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

ඡන්ද පොළෙහි ලියාපදිංචි හිමියන්, ඡන්ද පොළ කාර්ය මණ්ඩලය, ඡන්ද පොළ රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්, ජනාධිපති අපේක්ෂකයින්, අපේක්ෂකයින්ගේ ඡන්ද නියෝජිතයින්, අපේක්ෂකයින්ගේ බලයලත් නියෝජිතයින්, අපේක්ෂකයින්ගේ ප්‍රාදේශීය නියෝජිතයින්, එක් එක් අපේක්ෂකයින් වෙනුවෙන් විධිමත් පරිදි පත්කරන ලද ඡන්ද පොළ නියෝජිතයින්, මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලත් දේශීය/විදේශීය නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්, තේරීම්භාර නිලධාරීන්ගේ අවසරය ලත් නිලධාරීන් ඡන්ද පොළට ඇතුළු වීමට නීතියෙන් අවසර ලබා දී ඇති තැනැත්තන් වේ.

ජංගම දුරකතන භාවිතා කිරීම , ඡායාරූප ගැනීම , වීඩියෝගත කිරීම , අවි ආයුධ සන්තකයේ තබා ගැනීම , දුම්පානය , මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සහ මත්පැන් පානය කර හෝ මත්ද්‍රව්‍ය භාවිත කර පැමිණීම ඡන්ද මධ්‍යස්ථාන තුළ නීතියෙන් තහනම් කටයුතු බවත් මෙවැනි කටයුතුවලින් වැළකී සිටීම අත්‍යාවශ්‍ය බවත් සියලු පාර්ශව වෙත මැතිවරණ කොමිසමෙන් දැනුම් දෙනු ලබයි.