ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට 8000ක පිරිසක්

පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද ඇරඹේ..

by Staff writer 28-10-2024 | 10:30 AM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (28) ආරම්භ වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග ලබාදිය යුතු ගෘහ දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිසමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට ලබා නොදීම හේතුවෙන් එම දිස්ත්‍රික්ක දෙකෙහි අදාළ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ය.

මේ වනවිට මැතිවරණ කොමිසම මගින් අදාළ ගෘහ දැන්වීම් පත්‍රිකා ලබා දී ඇති බවත් ඒවා නියමිත තැපැල් ස්ථාන වෙත යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ඊයේ (27) ආරම්භ කෙරිණි.

ඒ සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ය .

ලබන 07 වැනිදායින් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ අයෙක් ඇත්නම් ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අනිද්දා (30) ආරම්භ වේ.

නොවැම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින්ට නොවැම්බර් 7 වැනිදා සහ 8 වැනිදා යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි  මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන මස14 වැනිදා පැවැත්වීමට නියමිතය.