සමස්ත ලෝකවාසී සහ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන්ට දීපාවලි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ය.
නිදහසින් පසු දශක ගණනාවක් පුරා අඳුරේ අත පත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටින බව ජනාධිපතිවරයා පැවසීය.
මෙතෙක් කල් ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයන් විසින් යටපත් කරන ලද ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වෙන පුනරුද යුගය මේ වනවිට ආරම්භ කර ඇති බව ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය.
අවිද්‍යාවේ ගණඳුර පළවා හරින්නට හැකි වන්නේ, විද්‍යාවේ ආලෝකයට පමණක් වන අතර ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මගකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු යැයි ජනාධිපතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.
සංස්කෘතික විවිධත්වයේ අලංකාරය අගයමින්, එකිනෙකා කෙරෙහි ගරුත්වය, පිළිගැනීම හා සහෝදරත්වයේ දෑත දිගු කරමු යන්න ද එම සුබ පණිවුඩයේ සඳහන් විට.
අසාධාරණය, වෙනස් කර සැලකීම්, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම ජේදනය කරන, වරප්‍රසාදලාභීන් හා වරප්‍රසාද අහිමි වූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට පෙරමුණ ගනිමු යන්න ජනධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන තවත් කරුණකි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳ අපේක්ෂාව යථාවට නැගීමට නම් මෙම සංස්කෘතික, දේශපාලනික හා ආකල්පීය පරිවර්තනය අත්‍යවශ්‍ය බව මෙම දීපාවලියේ දී අවධාරණය කර සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.