IMF අපේ රට ගැන කිව්වේ මොනවාද?

ශ්‍රී ලංකාව IMF වැඩසටහනේ ණය ඉලක්ක අත්කර ගැනීමට කැපවී සිටිනවා - ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන්

by Staff writer 01-11-2024 | 8:54 PM

COLOMBO ( News 1st ) -ශ්‍රී ලංකාවේ නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ ඇති මූල්‍යමය සහ ණය ඉලක්ක අත්කර ගැනීමට කැපවී සිටින බව එහි ආසියා පැසිපික් දෙපාර්තමේන්තු ප්‍රධානී ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, අද (01) උදෑසන ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නිව්ස්ෆස්ට් වෙනුවෙන් සුල්ෆික් ෆර්සාන්, ඔන්ලයින් ඔස්සේ එම මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමින් ප්‍රශ්න කළේ ය.

ප්‍රශ්නය,

පසුගියදා ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළා වොෂින්ටන් නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසියේදි මෙරට බදු ප්‍රතිපත්ති සාකච්ඡා කළ බව. රජය කියන්නෙ බදු බර අඩු කිරීමට සැලසුම් කරනවා කියල.මෙවැනි ඉල්ලීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකා බලනවාද? ඒවගේම ශ්‍රී ලංකාවේ මීළග සමාලෝචනය සිදුවන්නේ කවදා ද ?එය තවත් ප්‍රමාද වෙයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් දෙපාර්තමේන්තු ප්‍රධානී, ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන්,

නව රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියා. ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග හොඳ සාකච්ඡාවක් පැවැත්වුවා.
ඒ වගේම මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ප්‍රගතියක්  අත් කරගෙන ඇති බව පැහැදිලියි. ඒ වගේම මේ අත් කරගෙන ඇති ප්‍රගතිය ආරක්ෂා කිරීමත් වැදගත්. මේ දක්වා අත්කර ගෙන ඇති සාර්ථකත්වය මත ඉදිරියට යාමට පියවර ගත යුතුයි.කැපවීම සම්බන්ධයෙන් යම් දෙයක් කියනවා නම් ශ්‍රී ලංකාවේ නව රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ඇති මූල්‍යමය හා ණය ඉලක්ක අත්කර ගැනීමට කැපවී සිටින බව පැහැදිලියි. මේ දක්වා සාර්ථක ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් වොෂින්ටන් නුවරට පැමිණ මීළග සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවා. මෙම සාකච්ඡා තවදුරටත් සිදුවනවා. මෙම සාකච්ඡාවල අන්තර්ගතය සම්බන්ධයෙන් මම කිසිවක් කියන්නෙ නැහැ. නමුත් ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.ඉක්මනින්ම අපේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ 3 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්න සූදානම්.