අධිකරණ නියෝගයකින් විශේෂ කැණීමක්..

නිධානයක් ගන්න හෑරූ ස්ථානයක් නිසා මධ්‍යම අධිවේගය ආසන්නයේ ප්‍රදේශයක් අධිකරණ නියෝගයකින් විශේෂ කැණීමක..

by Staff writer 21-11-2024 | 10:47 PM

COLOMBO (News 1st) –වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ අද දින විශේෂ කැණීමක් ආරම්භ කළේ ය.

මෙම කැණීම සිදු කෙරන්නේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

වසර ගණනාවක සිට මෙම ස්ථානයේ නිධානයක් ඇති බව පවසමින් අවස්ථා කිහිපයකදී විවිධ පිරිස් හාරා ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

වඟුරු සහිත බිමක පිහිටි මේ ස්ථානයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබුණේ නිධානයක් බවට සැක කරන කිසිවක් නොමැති බවයි.

නමුත් පසුව කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බව තහවුරු වුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ පරීක්ෂණයකදී ය.

පසුව මේ පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

අනුතරුව අධිකරණය නියෝග කළේ, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන වල නිලධාරීන්ගේඅධික්ෂණය යටතේ කැණීම් සිදු කළ යුතු බවයි.

රජයේ රස පරීක්ෂකවරයාද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය

කැනීමේදී පාෂාණ ස්ථරයක් හමුවුහොත්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට එම ස්ථානය පුපුරවා කැණීම් පවත්වාගෙන යෑමටද අධිකරණයෙන් අවසර හිමිව ඇතැයි පොලීසිය පැවසුවේ ය.

කැණීම අද දිනයේදී අවසන් කර ගැනීමට නොහැකි වූවොත් අවසානය දක්වා කැණීම සිදු කිරීමට ද අධිකරණයෙන් අවසර හිමිව තිබුණි.