නඩුවකින් රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්..

නඩුවකින් රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකු නිදොස් කොට නිදහස්..

by Staff writer 29-11-2024 | 2:57 PM

COLOMBO (News 1st) –හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් මොහොමඩ් රුමි ඔවුන්ට එරෙහිව තිබූ නඩුවේ විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද(29) නියෝග කර තිබේ.

ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ, වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේයි.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා මීට පෙර දිනක දී අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තියට එරෙහිව එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කිරීමට අපොහොසත් වී ඇති බව නිගමනය කරමින් විත්තිකරුවන් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේ ය.

2019 නොවැම්බර් 10 වැනි දා තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී එම මාධ්‍ය හමුව පැවැත්විය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත සුදු වෑන් භාවිතා කර පුද්ගලයින් පැහැර⁣ගෙන ගොස් ඝාතනය කළ බවට සහ වෙළුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබු රන් භාණ්ඩ ගෝඨාභය රාජපක්ෂ මහතා සතු කරගත් බවට ප්‍රකාශ කෙරිණි.

ඒ, වටරුක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් උණ්ඩියල් අතුල සහ ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු ලෙස පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර යන පුද්ගලයින් විසිනි.

එම මාධ්‍ය හමුවේ අදාළ ප්‍රකාශ කිරීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.