COLOMBO (News 1st): මුදල් ගෙවා තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලැබුණු නඩු තීන්දුව යළිත් තහවුරු කරමින් අද නිව්යෝක් ප්‍රාන්ත අධිකරණය විසින් තවත් තීන්දුවක් ලබා දුන්නේය.
ඒ ට්‍රම්ප්ට එරෙහිව එල්ල වූ අපරාධ චෝදනා 34කට ඔහු වරදකරු කරමින් පසුගිය මැයි මාසයේදී ලැබුණු තීන්දුව අභියෝගයට ලක් කරමින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගනිමිනි.
මැයි මාසයේදී ඔහු වරදකරු බවට පත්වී දඩුවම් නියම කිරීමට, දින නියම කර තිබුණ ද පසුව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ රැඳී සිටි කාලයේ සිදුකල ක්‍රියාවන් සදහා ජනාධිපති මුක්තිය හිමිවන බවයි.
ඔහුට දඩුවම් නියම කිරීම ද පසුවට කල් දැමුවේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාල ශ්‍රේෂ්ඨධිකරණ තීන්දුව පාදක කර ගනිමින්, මැයි මාසයේදී ඔහු වරදකරුවෙකු කළ නඩු තීන්දුව නිෂ්ප්‍රභ කළයුතු බව පවසමින් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් විසින් පෙත්සමක් ඉදිරිපත් කළ බවයි.
කෙසේ නමුත් නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයේ වැඩබලන විනිසුරු හුවාන් මර්චන් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, නිල රාජකාරි සම්බන්ධයෙන් ජනාධිපති මුක්තිය හිමි වුවද, පෞද්ගලික හැසීරීම සම්බන්ධ හේතු වෙනුවෙන් ජනාධිපති මුක්තිය භාවිත කළ නොහැකි බවයි.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කාන්තාවක් සමග පැවැත්වූ සබඳතා වසන් කිරීම සඳහා 2016 වසරේ ජනාධිපතිවරණය ආසන්නයේදී ඇයට ඩොලර් 130,000 ක මුදලක් ගෙවීමත් පසුව ඒ වෙනුවෙන් වංචනික මූල්‍ය වාර්තා නිකුත් කිරීමත් සම්බන්ධ චෝදනා වලට පසුගිය මැයි මාසයේදී ඔහු වරදකරුවෙකු බවට පත්විය.
ඒ ඉතිහාසයේ අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වෙමිනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය නොවැම්බර් මාසයේ අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේද මෙවැනි පසුබිමකදීය.