කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය සහන...

බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය සහන...

by Staff writer 22-12-2024 | 7:15 AM

COLOMBO (News 1st) - මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සලසමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.

ඒ අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදා වන විට අදාළ බැංකුවල ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකක සමග සාකච්ඡා ආරම්භ කර ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා එම සහන හිමිවේ.

ඒ, 2019 වසරේ අප්‍රේල් පළමු වැනිදා හෝ ඉන් අනතුරුව අදියර තුනෙහි ණය ලෙස වර්ගීකරණය කර ඇති ණය පහසුකම්වලට අදාළව සියලු ලේඛන ඉදිරිපත් කිරීමට යටත්වයි.

ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 15 වැනිදාට ගෙවිය යුතු මුළු හිඟ ණය ප්‍රාග්ධනය, රුපියල් මිලියන 25 ට අඩු නම්, ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ප්‍රතිලේඛණගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුයි.

රුපියල් මිලියන 25 ත් මිලියන 50 ත් අතර හිඟ ණය පවතින ගනුදෙනුකරුවන් ලබන වසරේ සැප්තැම්බර් 30 වැනිදාට පෙර ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වේ.

ලබන වසරේ ජුනි 30 වැනිදාට පෙර ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුත්තේ, රුපියල් මිලියන 50 ට වැඩි හිඟ ණය ඇති ගනුදෙනුකරුවන්.

ඒ අනුව නොගෙවූ ණය පොලිය නිදහස් කිරීම සම්බන්ධයෙන් සහන සලසා තිබේ.

ඒ යටතේ රුපියල් මිලියන 5 සිට මිලියන 10 දක්වා හිඟ ණය මාස හයක් ඇතුළත නිරාකරණය කළහොත් සියයට 65 ක්, අවුරුද්දක් ඇතුළත සියයට 50 ක් සහ මාස 12 කට වැඩි මාස 60 කට අඩු කාලයක් තුළ සියයට 40 ක් ලෙස ණය පොලී නිදහස් කිරීමට නියමිතයි.

සමස්ත හිඟ ණය රුපියල් මිලියන 10 සිට මිලියන 25 දක්වා පවතින්නේ නම්, මාස හයක් ඇතුළත එය නිදහස් කළහොත් සියයට 35 ක පොලිය නිදහස් කරනු ඇති.

එය වසරකින් ගෙවන්නේ නම්, සියයට 25 කින් සහ මාස 12 කට වැඩි මාස 60 කට අඩු කාලයක් තුළ සියයට 20 ක් ලෙස ණය පොලිය නිදහස් කිරීමට නියමිතයි.