මහර බන්ධනාගාරයේ ගැටුම:අභියාචනාධිකරණයට පෙත්සමක්

මහර බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

by Staff writer 25-12-2024 | 2:45 PM

COLOMBO (News1st) - 2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, එම සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර නැමැති සිරකරුගේ බිරිඳ විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැලිසර මහේස්ත්‍රාත්වරයා නම් කර තිබේ.

පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් කියා සිටින්නේ, 2020 වසරේ නොවැම්බර් මස 29 වැනි දා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 11 දෙනකු මරණයට පත් වූ බවයි.

ඒ පිළිබඳව පැවති මරණ පරීක්ෂණය අවසානයේදී මෙම මරණ "අපරාධයක්" බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

එහෙත් ඉකුත් අගෝස්තු මස 30 වැනි දා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩු කටයුතු අවසන් කර ගොනු වසා දමන ලෙස දැනුම දී තිබෙන බවත් පෙත්සම්කාරිය කියා සිටියා ය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වන වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ ඊට අදාළ ලඝු නොවන නඩු විභාගය අවසන් වීමෙන් පසුව වුවත් මෙම සිද්ධියේදී ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ වීමටත් පෙර නීතිපතිවරයා විසින් නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවත් පෙත්සමේ මගින් චෝදනා කර තිබේ.

ඒ අනුව, මහර බන්ධනාගාර රැඳවියන්ගේ මරණවලට අදාළ නඩු කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව එම විමර්ශන කටයුතු යළි ආරම්භ කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා සිටි.