අම්පාරේ News 1st වාර්තාකරුට ප්‍රහාරයක්..

අම්පාරේ වැලි ජාවාරමක් වාර්තා කරන්න ගිය News 1st වාර්තාකරුට ප්‍රහාරයක්..

by Staff writer 02-01-2025 | 9:44 PM

COLOMBO (News 1st) –අනවසර වැලි කැණීමක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ගිය අවස්ථාවේ, අම්පාර නිව්ස් ෆස්ට් වාර්තාකරු අචල උපේන්ද්‍ර මහතාට අද පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල විය.

මේ වන විට ඔහු අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

මොරවිල් ඔය, අම්පාර දිස්ත්‍රික්කයේ සම්මන්තුරේ ප්‍රදේශය හරහා ගලා බසින ජල සම්පතකි.

එහි නීතිවිරෝධී ලෙස වැලි කැණීම් සිදු කෙරෙන අතර, නෙයිනකාඩු ප්‍රදේශය එවැනි එක් ප්‍රකට ස්ථානයකි.

ලද තොරතුරකට අනුව අප වාර්තාකරු අචල උපේන්ද්‍ර අද එම ප්‍රදේශයට ගියේ සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු වාර්තා කිරීමේ අරමුණින් ය.

අනතුරුව තමා නෙයිනකාඩු - කුඩිවිල් මාර්ගයේ පැමිණෙමින් සිටියදී, තිදෙනෙකු ලුහුබැඳ පැමිණි බවත්, එක් අයෙකු පහර දුන් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.