උතුරුමැද ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය විමර්ශනයට

උතුරුමැද වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියේ ඉදිරි විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට

by Staff writer 07-01-2025 | 7:31 AM

COLOMBO (News 1st) - තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව කියන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේ, පිට වූ බව කියන ප්‍රශ්න පත්‍ර යළි සකස් කරන බවය.

මේ අතර උතුරුමැද පළාතේ රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳ  විමර්ශන කටයුතු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර දී තිබේ.

ඒ, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතයි.

ප්‍රශ්න පත්‍ර පිටිවී ඇති බවට ඊයේ අනුරාධපුර පොලීසියට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා දෙකකදී පැමිණිලි කර තිබුණි.

උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත් කරන බවයි.

උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.

ඒ, වාර විභාගයේ සිංහල සාහිත්‍ය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන ප්‍රශ්න පත්‍ර පිටවූ බවට තොරතුරු ලැබීම හේතුවෙනි.

උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ, එම තත්ත්වය සැලකිල්ලට ගෙන අද සහ හෙට පැවැත්වීමට නියමිත 11 ශ්‍රේණි වාර පරීක්ෂණය අත්හිටවූ බවයි.