වැස්ස නිසා රියැදුරන්ට දැනුම්දීමක්...

වැස්ස නිසා රියැදුරන්ට දැනුම්දීමක්...

by Staff writer 24-01-2025 | 10:17 AM

COLOMBO (News1st) - වර්ෂාව පවතින අවස්ථාවල කඳුකර ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනයේදී මේ දිනවල විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රියැදුරන්ට දැනුම් දෙන්නේය.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ  වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, පසුගිය දිනවල ඇඳ හැලුණු වර්ෂාවත් සමග‍ කඳුකර ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ගල් පෙරලීම් හා නායයෑමේ අවදානම් ඇති විය හැකි බවයි.

වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මහනුවර- මහිංගණය මාර්ගයේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පාලම් හන්දියෙන් අද(24) උදෑසන 6.00 දක්වා තාවකාලිකව වසා දමා ඇත.

ඒ ඊයේ(23) පස්වරු 6.00 සිටයි.

පවතින අධික වැසි සමග උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස්කඳු හා ගල් කඩා වැටීමේ අවධානමක් හේතුවෙන් එලෙස මාර්ගය වසා දැමුණු බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර අද(24) දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර මඩකලපුව මාතලේ සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වේ.