හිටපු ජනපතිගේ නීතියට පටහැනි තීන්දුව..

හිටපු ජනපති ගෝඨාභය දුන් නියෝගයක් නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

by Staff writer 18-03-2025 | 11:03 PM

COLOMBO (News 1st) - 2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව, ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේ, සිද්ධියට ලක්වූ කාන්තාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් ඇයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසයි.

පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.

නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මඩුල්ලේ සභාපති විනිසුරු එස් .තුරෙයිරාජා මහතා විසින්  ප්‍රකාශයට පත් කළේ , දිලීප් නවාස්, මහින්ද සමයවර්ධනය යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුවයි.

තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු මඬුල්ල පැවසූවේ, සිද්ධිය සිදුවූ සමයේ රැඳවුම් නියෝගය නිකුත් කරන අවස්ථාව වන විට රටේ ආරක්ෂක ඇමතිවරයකු නොසිටි අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි 9(1) වගන්තිය යටතේ රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ඇමතිවරයා සතුවන බවයි.

සිද්ධිය වූ කාල සීමාවේදී රටතුළ දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූ බවත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රැඳවුම් නියෝගයක් නිකුත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව නොතිබූ බවද නඩු තීන්දුව ලබා දෙමින් විනිසුරු මඬුල්ල අවධාරණය කර සිටියේ.

20වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  යටතේ ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමැතිවරයා  ලෙස කටයුතු කිරීමේ බලය ලබාදුන් අතර  එම ව්‍යවස්ථා සංශෝධනය 2020 ඔක්තෝබර් මස 9 වැනි දා සිට ක්‍රියාත්මක වූ බවද අදාළ තීන්දුව දෙමින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ ය.

කරුණු අධ්‍යනය කිරීමේදී පෙත්සම්කාරිය රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම්  නියෝග නිකුත් කිරීමට එවකට ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිඳු බලයක් නොතිබූ බව පෙනී යන බව විනිසුරු මඬුල්ල පැවසුවේය.

එබැවින් අදාළ රැඳවුම් නියෝගය නිකුත් කිරීම නීති විරෝධී බව විනිසුරු මඬුල්ල තීන්දු කළේ ය.

පෙත්සම තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කර නොතිබීම නිසා  පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඔහුගෙන් වන්දි මුදල් අය කිරීමට නොහැකි බවද අදාළ නඩු තීන්දුව මගින් අවධාරණය කෙරිණි.