සිරි දළඳා වන්දනාව දෙවන දිනටත් ඇරඹෙයි..

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළඳා වන්දනාව අද දෙවන දිනටත් ආරම්භ වෙයි

by Staff writer 19-04-2025 | 12:36 PM

COLOMBO (News1st) - ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළඳා වන්දනාව අද දෙවන දිනටත් ආරම්භවී තිබේ.

ශ්‍රී දළඳා මාළිගයේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 ට ආරම්භවූ සිරි දළදා වන්දනාව අද(19) පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

දළදා මාලිගාවේ පිරිත් මණ්ඩපයේ විශේෂ පීඨීකාවක් මත තැන්පත් කර ඇති ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, වැඳපුදා ගැනීම සඳහා ප්‍රවේශ මාර්ග තුනක් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන්ට අවකාශ සලසා තිබේ.

මහනායක හිමිවරුන්  සැදැහැවතුන්ට දැනුම් දෙන්නේ, සුදු වතින් සැරසි, සැදැහැ සිතින් දළදා සමිඳුන් වැදපුදා ගැනීමට පැමිණෙන ලෙසයි.

මෙවර දළදා දැක්ම පැවැත්වෙන්නේ වසර 16 කට පසුවයි.

ලබන 27 දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාවව අවස්ථාව සැළසේ.

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

ඒ අනුව මහනුවර නගරයට පැමිණෙන සියලු රථවාහන සීමා කෙරේ.

පොදු සහ පෞද්ගලික වාහන වලින් පැමිණෙන සැදැහැවතුන් සඳහා මහනුවර දළදා මාලිගාව තෙක් ස්ථාන 7 ක සිට විශේෂ බස් සේවාවක් ආම්භ කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එච්.ආර් ටී චන්ද්‍රසිරි මහතා පැවසයි.

මේ අතර කඩුගන්නාව කටුගස්තොට හා ගම්පොල ප්‍රදේශ ආවරණය වන පරිදි  විශේෂ දුම්රිය ගමන්වාර ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ එලෙස  මහනුවර නගරය දක්වා සැදැවතුන් ප්‍රවාහනය කිරීමට විශේෂ දුම්රිය දෙකක් ද ධාවනයට එක් කරන බවයි.

මේ අතර සැදැවතුන්ගේ වාහන ගාල්කිරීම සඳහා ස්ථාන 6 ක් හඳුන්වා දී ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව ගැටඹේ ක්‍රීඩාංගණය, ගන්නෝරුව මාර්ගය, කටුගස්තොට 4 කණුව, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමිය, රා කඩේ හන්දිය ධර්මාශෝක මාවත හා පී.ටී රාජන් ක්‍රීඩාංගනයේ වාහන ගාල් කිරීමට පහසුකම් සපයනු ඇති.

ඊට අමතරව පල්ලෙකැලේ බණ්ඩාරනායක විද්‍යාලය ක්‍රීඩාංගණයේ හා ගුරුදෙණිය ප්‍රදේශයේ ද, සැදැවතුන් පැමිණෙන වාහන නවතා තැබීමට පහසුකම් සලසා ඇතැයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳන් කළේ ය.

මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.
 
සිරි දළඳා වන්දනාව සඳහා මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවරට පැමිණෙමින් සිටියි.

සිරි දළඳා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට හදිසි අවස්ථා දැනුම්දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.

පොලීසිය පැවසුවේ හදිසි අවස්ථාවකදි මෙන්ම අතරමංවූ විටදි ලගම සිටින පොලිස් නිළධාරියාට හෝ අදාල දුරකතන අංකවලට දැනුම් දිය හැකි බවයි.

ඒ සඳහා හඳුන්වාදී ඇති දුරකතන අංක වන්නේ, 0812224660 හා 0812224661 යි.