මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 02-06-2025 | 7:08 AM

COLOMBO (News 1st) - ලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර, දිවයින පුරා පැවති වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය යටතේ රටපුරා සම්පූර්ණ විදුලි බිඳවැටීම් 70,012ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ, ඉන් 41,684ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

ඉතිරි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් යොදවා ඇති බවද ධම්මික විමලරත්න මහතා පැවසුවේ ය.

මේ අතර, දිවයිනට බලපා ඇති තද සුළං සහ වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක පුද්ගලයින් 9,975 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.