සංචාරක සංවර්ධනය සඳහා ජනපති කාර්ය සාධක බලකායක්

සංචාරක සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

by Staff writer 23-08-2025 | 7:51 AM

COLOMBO (News 1st) - මෙරට සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා, ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාජිකයින් 28 දෙනෙකුගෙන් යුත් එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිත්වය දරන්නේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයායි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා එහි උප සභාපතිත්වය දරයි.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ , දැක්වුණේ එම කාර්ය සභාවේ ලේකම් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා, හා සංචාරක අමාත්‍යංශයේ ලේකම් පත්කර ඇති බවයි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව - නව්‍ය සංචාරක කර්මාන්තයක් අකර්ශනීය ගමනාන්තයක් - යටතේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේදී සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා ඒ ආශ්‍රිතව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් මගින් මහජනතාවගේ අභිලාශ හා අපේක්ෂා කඩිනමින් ලගා කරදීමේ අවශ්‍යතාව වර්තමාන රජයේ ප්‍රමුඛ අවධානයට ලක්ව ඇති බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ, වඩාත් පහසු හා කඩිනමින් විදේශ විනිමය ඉපැයීමේ හැකියාව ඇති සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් උපාය මාර්ගික වැඩපිළිවෙළක් නිවැරදි ආකාරයෙන්, කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගෙන ඇති හෙයින් මෙරට සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන එම ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළ බවයි.