හිටපු ජනපති රනිල්ට තවදුරටත් ප්‍රතිකාර

හිටපු ජනපති රනිල් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ...

by Staff writer 24-08-2025 | 7:31 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පස්වරුවේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේ, විජලන තත්ත්වයක් හේතුවෙනි.

බන්ධනාගාර රෝහලේ සිට ඊයේ  පස්වරුවේ ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන අවේය.

ඒ, බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරේදා (22) දහවල් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත්තේ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයී.

රජයේ මුදල්වලින් සිදු කළායැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා මත කෙරෙන විමර්ශනයට අදාළව එම කැඳවීම කර තිබිණි.

2023 වසරේ සැප්තැම්බැර් 22 සහ 23 යන දිනවල මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් යෑම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු, පෙරේදා පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළේ, ලබන 26 වැනිදා දක්වා රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එම අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයට හිටපු මැති ඇමතිවරුන් හා පාක්ෂිකයින් රැසක් පැමිණ සිටියහ.

අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා රැගෙන ගියේ කොළඹ මැගසින් බන්ධනාගාරයටයි.

එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව, වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ, රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම හේතුවෙනි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු හිටපු මැති ඇමතිවරුන් රැසක් පැමිණියහ.