79 වැනි බ්‍රැඩ්බි පළිහ කොළඹ රාජකීයයන්ට..

79 වැනි බ්‍රැඩ්බි පළිහ කොළඹ රාජකීයයන්ට..

by Staff writer 06-09-2025 | 10:06 PM

COLOMBO (News 1st) - කොළඹ රාජකීය විද්‍යාලය 37 වැනි වරටත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහි බ්‍රැඩ්බි පළිහ  වාර්ෂික රග්බි තරගය ජයගත්තේ ය.

මෙවර තරගය පැවැත්වුණේ 79 වැනි වරටයි.

කොළඹ රාජකීය - මහනුවර ත්‍රිත්ව විද්‍යාලාන්තර බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගය අදියර දෙකකින් සමන්විත වේ.

බ්‍රැඩ්බි පළිහ හිමි වන්නේ, එම අදියර දෙක අවසානයේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායමටයි.

මහනුවරදී පැවැති මෙවර තරගයේ පළමු අදියර ලකුණු 15ට 5ක් ලෙස ජය ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි.

එහි දෙවැනි අදියර කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී අද පැවැත්වුණි.

එය ආරම්භයේ සිටම දෙපිලෙන්ම තියුණු තරගයක් දක්නට ලැබුණු අතර, ත්‍රිත්ව විද්‍යාලය පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ලකුණු 5ට 0ක් ලෙසයි.

දෙවැනි අර්ධයේදීද ලකුණු රැස් කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම දෙපිලෙන්ම ගිලිහී ගියේය.

එම අර්ධයේදී දෙපිලම දඬුවම් පහර බැගින් සාර්ථක කර ගත්තේ ය.

ඒ අනුව දෙවැනි අදියර අවසන් වුණේ ලකුණු 8ට 3ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණේ තබමින්.

කෙසේ නමුත් මහනුවරදී පැවැති පළමු අදියරේදී ලකුණු 10ක් ඉදිරියෙන් සිටි රාජකීය කණ්ඩායම අදියර දෙක අවසානයේදී ලකුණු 18ට 13ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට සමත් විය.

යස්.එෆ්.එම් නාලිකාව මෙවර බ්‍රැඩ්බි පළිහ රග්බි තරගයට එක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නිල ගුවන්විදුලි සහකරු ලෙස කටයුතු කළේ ය.