දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගය

දේශබන්දුගේ පත්වීමට එරෙහි පෙත්සම් විභාගයට අධිකරණය දින දෙයි...

by Staff writer 08-09-2025 | 5:28 PM

COLOMBO (News 1st) - දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ ය.

මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේ ය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මහජන වැදගත්කමක් සහිත නඩුකරයන් බැවින් ඒවා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරන බව සඳහන් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉන් අනතුරුව අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වැනිදා විභාගයට ගන්නා බව නියෝග කළේ ය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින්
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09 ක් ඉදිරිපත් කර තිබිණි.