ඇල්ල ඛේදවාචකයේ අවසන් වාර්ථාව නිකුත් කෙරේ

ඇල්ල ඛේදවාචකයේ අවසන් වාර්ථාව අද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට නිකුත් කෙරේ..

by Staff writer 22-09-2025 | 9:50 PM

COLOMBO (News 1st) -  පුද්ගලයින් 16 දෙනෙකුට මරු කැඳවමින්  ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් අනතුර පිළිබඳ විමර්ශනයේ අවසන් වාර්ථාව අද (22) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට භාර දී තිබේ.

රියදුරුට නිසි ලෙස නින්දක් නොමැති වීම , කදුකර මාර්ගයක සිට බස් රථය පහළට රැගෙන ඒමේදී තිරිංග පද්ධතිය අකාර්යක්ෂම වීම සහ බස් රථයේ ඇතුළත සවිකර තිබු විවිධ අලෝක රටාවන් හේතුවෙන් මාර්ගය නිසි පරිදි රියදුරුට දර්ශනය නොවිම අනතුරට හේතුව බව එම වාර්තාවේ දැක්වුණේය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 වැනි කිලෝ මීටර් කණුව අසලදී ඉකුත් 4 වැනිදා බස් රථයක්  ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදු වුණි.

අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගිය අතර ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් පසුගිය 12 වැනිදා මියගියහ.

එලෙස මියගියේ විනෝද චාරිකාවකට එක්ව සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක්.

අනතුරින් පසුව බස් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හරින ලදි.

ඒ බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි.

ඉන් අනතුරුව ප්‍රවහන හා මහා මාර්ග අමාත්‍යංශය මගින් අනතුරු පිළිබඳ සේවීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදි.

එම කමිටුවේ අවසන් වාර්තාව අද ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයට භාර දුන් බව සඳහන් වේ.