ගඩොල් කපන අයෙකුගේ ගිණුමකට රු. ලක්ෂ 211ක් ආ හැටි

බැකෝ සමන්ගේ බිරිඳ ඇතුළු ඇගේ පවුලේ හිතවත් පාර්ශවයන්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම්

by Staff writer 09-10-2025 | 6:36 PM

COLOMBO (News 1st) - 

බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි ඇතුළු ඇගේ පවුලේ හිතවත් පාර්ශවයන්ට අයත් බැංකු ගිණුම් 13ක් මහාධිකරණය මගින් තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරැදි සිදු කර ඇති බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැකෝ සමන්ගේ බිරිඳ වන සැකකාර සාධිකා ලක්ෂාණි යන අයට එරෙහිව ඇති නඩුව අද යළි කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  සුහර්ෂි හේරත්  මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා ය.

ඇය අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකාරියගේ සහෝදරියගේ නමින් පුද්ගලික බැංකු දෙකක ගිණුම් දෙකක් තිබෙන බවත් එම ගිණුම් තුලින් 2024 වසරේ ලක්ෂ 563ක මුදලකුත් 2025 වසරේ ලක්ෂ 204ක මුදලකුත් සංසරණය වී ඇති බවට කරුණු අණාවරණය වී ඇති බවයි.

එමෙන්ම සැකකාරියගේ පියා ගඩොල් කැපීම රැකියා ලෙස සිදුකර ඇති මුත් ඔහුගේ නමින් ඇති බැංකු ගිණුම තුළින් ලක්ෂ 211ක මුදල් සංසරණය වි ඇති බවට කරුණු හෙළි වී ඇති බවද සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ ය.

මෙම ගිණුම් තුළට මුදල් තැන්පත් කළ පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනැ ගැනීම උදෙසා ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටරු ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේය .

සැකකාරිය විසින් විදේශ ගතවන අවස්ථාවේ සිය පලමු දරුවාගේ උප්පැන්න සහතිකය ව්‍යාජ ලෙස වෙනස් කර සකසා ගැනීම සම්බන්ධව වව්නියාව අධිකරණය හමුවේ සැකකාරියට එරෙහිව ආගමන විගමන පනත යටතේ ගැනෙන නඩුවක් ඇති බවත් එම නඩුවට අදාලව සැකකාරියට අධිකරණය ඉදිරිපත් කරන ලෙස දන්වමින් නොතීසි නිකුත් කර තිබෙන බව ද ඇය අධිකරණය හමුවේ පැවසුවේ ය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ඔක්තෝබර් 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් ඉදිරි දින විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස විමර්ශන නිළධාරීන්ට නියෝග කළේ ය.